දෙවොල් මඩු යාගයේ සැරසිළි හා අලංකරණ
දෙවොල් මඩුව වූ කලී නර්තන , ගායන, වාදන, සැරසිළි ආදියෙන් සමලංකෘත වූවකි. මෙහි විචිත්‍ර භාවයෙහිලා සැරසිලි අලංකරණ විශේෂයෙන් වැදගත් වේ. දෙවොල් මඩුවේ සැරසිලි අලංකරණයෙන් වර්ණ, රේඛා, හැඩතලයන්ගෙන් මතු කරන කලාත්මක ලක්ෂණයන්ගෙන් භාවාත්මක වින්දනයක් හට ගනී. මෙය ආතුර මනස සුවපත් කිරීමෙහිලා මූලික වේ. මෙහි දැක්වෙන සැරසිලි අංගයන්ගෙන් වර්ණ මඟින් වර්ණ චිකිත්සාව ද, දර්ශන අංගයන්ගෙන් දර්ශන චිකිත්සාව ද සිදු වේ. මේ අනුව මෙම සැරසිලි අලංකරණ පුද්ගලයාගේ කායික, මානසික නිරෝගී භාවයට ප්‍රභල ලෙස ඉවහල් වන බව පැහැදිලිය.
දෙවොල් මඩුවේ සැරසිලි අලංකරණ ලෙස,
1.මඩු සැරසිලි
2. වියන් සැරසිලි
3. පත්තිනි තොරණ හෙවත් මකර තොරණ
4. කප් ගස සැරසිලි
5. අටමඟල සැරසිලි
6. මල් යහන් සැරසිලි
7. මල් බුලත් පුටුව සැරසිලි
8. බිසෝ කප සැරසිලි
9. කාල පන්දම් ගස සැරසිලි
10. ගරා අයිලය
11. ගරා පිදේනිය
12. ඔරුමාල පිදේනිය
මෙම සැරසිලි සඳහා පරිසර ආශ්‍රිත හා පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදා ගනී. දැව දඬු, වැල් පට්ටා, කෙසෙල් පතුරු, ගොක්කොළ, පොල් කොළ, පොල් මල්, තැඹිලි මල්, පුවක් මල්, පස් වලු(තැඹිලි, පොල්, තවසි, කුන්දිරා, කටුපොල්) ආදිය යොදා ගනී. මෙයට පුරුෂයින් පමණක් දායක කර ගනී
මඩු සැරසිලි
දෙවොල් මඩුවේ ප්‍රධාන සැරසිල්ල දෙවොල් මඩුවයි. මෙය කැසිකිළි, වැසිකිළි, නාන තොට, රදා තොට, සොහොන් පොල ආදියෙන් තොර භූමි භාගයක සකස් කර ගැනේ. බ්‍රහ්ම පාදයෙන් හෝ දේව පාදයෙන් මඩුව සකස් කෙරේ. කප් කණුව මුල් කණුව වන සේ මඩුව සැකසේ. සුභ නැකැත් හෝරාව අනුව මඟුල් බෙර මධ්‍යයේ මඩුව සකසා ගැනේ. දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, උසින් පස් රියනක් ද, උතුරට හෝ නැගෙනහිරට මුහුණ ලා දොරටු ද තබයි. මඩු සැරසිලි සඳහා අඹ, පේර, දිවුල්, බෙලි, නාරං, උක් ගස් ඵල යොදා ගනී. එමෙන්ම තැඹිලි, දෝතළු, කුන්දිරා, කුරුම්බා, පුවක්, ගිංපොල් ආදී වලු වර්ග මඩුවේ කණුවලට බැඳ අලංකාර කර ගනී. නෙළුම්, මානෙල්, ඕලු වැනි මල් මඟින් මඩුව සරසන අතර ගොක්කොළ ආරුක්කු, දොරටු, ගරාදිය, පියකඩ ආදිය තබයි
වියන් සැරසිලි
වියන් සැරසිලි සඳහා උඩුවියන් බඳවා කොහොඹ, නා, බෝ, නුග ආදී ශාක පත්‍රයන්ගෙන් හා පුවක් මලෙන් වියන සකසා ගනී. කොළ හා කහ වර්ණයෙන් අපූරු කලාත්මක බවක් දිස් වේ.
මකර තොරණ
දෙවොල් මඩුවේ සුවිශේෂී සැරසිල්ල මකර තොරණ හෙවත් පත්තිනි තොරණ යි. මෙය පත්තිනි දේවියගේ ආභරණ තැම්පත් කිරීම වස් සකස් කරයි. උතුරට මුහුණලා සකස් කරන අතර සම්මත මිමි ප්‍රමාණ මත සකසා ගනී. මුදුන කොත් 5කි. තොරණ් යාගයේ කවිවලදී පත්තිනි තොරණේ මිමි ප්‍රමාණ ගැන සඳහන් ය. කෙසෙල් පතුරු, ගොක් කොළ, ක්‍රෝටන් කොළ ගැට ගසමින් අලංකාර කර ගන්නා අතර තොරණ ජ්‍යාමිතික හැඩයන්ගෙන් යුක්ත ය. කිඳුරු රූප, පක්ෂි රූප, ඉර හඳ තොරණ අලංකරණය සදහා යොදා ගනී. ස්වභාවික හැඩයන්ට අමුද්‍රව්‍යයන්ට අමතරව වර්ණවත් කඩදාසි, සව් කොළ යොදා ගැනේ.
කාලපන්දම් ගස
සේරමාන් රජුගේ නැව මුදුනේ පැවති කුඹ ගස සිහිපත් කරමින් කාලපන්දම් ගස සිටුවයි. රියන්11ක් උස පුවක් ගසක් තෝරා සුද්ධ කර එහි මුදුනෙහි විශාල පන්දමක් ගසනු ලැබේ. මෙම කාලපන්දම් ගස ගොක්කොළ, කණවැල් ආධාරයෙන් සිටුවන අතර දේවතෝඩු බැඳ සකසා ගනී.
බිසෝ කප
එදා සේරමාන් රජුගේ බිසව විසින් සිටුවන ලද කප් ගස සිහිපත් කරමින් බිසෝ කප සිටුවයි. සවියත් සහඟුලක් දිගින් යුතු පවිත්‍ර කරන ලද කෙසෙල් බඩයක කැටයම් කරන ලද ගොක්කොළ ගසා සකසා ගනී.
මල් යහන
දෙවියන් වෙනුවෙන් විචිත්‍රවත් ලෙස සකසා ගන්නා මල් යහන විශේෂ සැරසිල්ලකි. මෙය තනමත්තක් උසට සිටින සේ සකසා ගනී.ගොක්කොළ, කෙසෙල් පතුරු, හබරල කොළ කැටයමින් අලංකාර කරයි. ආරුක්කු, ගරාදි, පේකඩ, දොරටු, කව්ලු දක්නට ලැබේ. තනිපට ලණුව, දෙපට ලණුව දක්නට ලැබේ.
මල් බුලත් පුටුව
ශ්‍රියා කාන්තාවගේ නාමයට මල් බුලත් පුටුව සකසා ගැනේ. පුටුව වටේට සුදු රෙද්දක් දමා සකස් කර ගන්නා අතර ගොක්කොළ කැටයමින් අලංකාර කර ගැනේ. හවරියක්, කැඩපතක්, පනාවක් එහි තබයි.
No comments:
Post a Comment