Monday, June 8, 2020

කොටස් අංක 12 - මහනුවර විශ්ණු දේවාලයේ පමණක් රඟ දක්වන වලියක් මංගල්‍යයේ සුවිශේෂතා හා අනන්‍යතා

මහනුවර විශ්ණු දේවාලයේ පමණක් රඟ දක්වන වලියක් මංගල්‍යයේ සුවිශේෂතා හා අනන්‍යතා

    මහනුවර දළදා මාලිගාවේ දළදා පෙරහැර අවසන් කිරීම සඳහා අවසන් රන්දෝලි පෙරහැරෙන් පසුව පුරා දින සතක් මෙම වලියක් මංගල්‍යය පවත්වනු ලැබේ.  මහා දේවාලය හෙවත් විශ්ණු දේවාලයේ සතරවන මහලේ පවත්වන මෙම ශාන්තිකර්මය දේශීය ශාන්තිකර්ම පද්ධතියේ අනෙකුත් ශාන්තිකර්ම සමඟ සසඳා බලන කල්හි සුවිශේෂී ශාන්තිකර්මයක් බව පැහැදිලි වේ. අනෙකුත් ශාන්තිකර්ම පවත්වන්නේ සශ්‍රීකත්වය, ගර්භ සංරක්ෂණ, රෝග නිවාරණය ආදී අරමුණු උදෙසාය.නමුත් වලියක් මංගල්‍යය ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ සියල්ලන්ගේ වස්දොස් දුරු කිරීමෙ අභිලාෂයෙන් පවත්වනු ලබන්නකි. මෙසේ පෙරහැකින් ඇති වූ වස්දොස් සමනය කර ගැනීමට පවත්වන එකම ශාන්තිකර්මය වලියක් මංගල්‍යය යි.

    එමෙන්ම මෙය පවත්වනු ලබන්නේ දළදා මාලිගාවේ විශ්ණු දේවාලයේ ම පමණි. මෙසේ දේවාලයක් තුළ පවත්වන යාග කර්මයක් වේනම් වලියක් මංගල්‍යය ම පමණි.

     සත් දිනක් අඛණ්ඩව වලියකුම පැවැත්වීමද සුවිශේෂී අනන්‍යතාවකි. අනෙකුත් කිසිඳු ශාන්තිකර්මයක් සත් දිනක් අඛණ්ඩව නොපැවැත්වේ.

මෙහිදී උඩරට කොහොඹා කංකාරියේ එන වැදි යක්කම, නයා යක්කම, ආවැන්දුම, යක්තුන් පදය, යක් ඇනුම, හත් පදය, පලවැල දානය, කුවේණි අස්න, කෝල්පාඩුව ආදී පෙළපාලි අංගවලින් සමන්විත නමුත් වර්තමානය වන විට එයින් කොටස් වශයෙන් සීමා කොට ඉදිරිපත් කරනු ලබන බව දක්නට තිබේ. එනමුත් උඩරට කොහොඹා යක් කංකාරියට වඩා හාත්පසින්ම වෙනස් වලියක් මංගල්‍යටම ආවේණික වූ පෙළපාලි අංග ද මේ තුල තිබේ. විශේෂයෙන් ම කංකාරි නටන හෝ දළදා පෙරහැරට සහභාගී වූ කිසිඳු නර්තන ශිල්පියෙකුට හෝ වාදන ශිල්පියෙකුට වලියක් මංගල්‍යය සඳහා සහභාගී විය නොහැක. ඒ සඳහා අවසර ඇත්තේ නිල පංගු උරුමය ඇති අයට පමණි. 

   මේ සඳහා සහභාගී වන නිළධාරි මණ්ඩලය ද විශේෂත්වයකින් යුක්ත වේ. ඔවුන් මූලිකව ඇතුල් කට්ටලය හා පිටකට්ටලය ලෙස වෙන්කෙරෙන අතර වලියකුමේ ප්‍රධානියා වන්නේ වන්නකුරාළ යි. ඔහුගේ රාජකාරිය වන්නකු නිළය නමින් හැඳින්වේ. ඇසළ පෙරහැර පැවැත්වීමට මහා විශ්ණු දේවාලයේ සිටුවන කප අලුත්නුවර සිට කපාගෙන මහනුවරට වඩම්මාගෙන ඒමේ සිට කප සිටුවීම, කප ගැලවීම, වලියකුම පවත්වන සත් දින දේවාභරණ වැඩමවීම, ආපසු වැඩමවීම, වලියකුම සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය සැපයීම ආදිය මොහුගේ රාජකාරිය යි. ඒවාගේම ඉතාම වැදගත් හා එම තනතුරේ බලසම්පන්න බව පෙන්වන රාජකාරියක්ද ඔහු සතුව ඇත. එනම් වලියකුම සඳහා සහභාගී වන සියලුම ශිල්පීන්ගේ වලියකුම පැවැත්වීමට පෙර පරහඳ ගෑමයි.( මෙය අළු වර්ගයකි.දකුණු අතේ මැදගිල්ලෙන් තවරනු ලැබේ.මඟුල් බෙර වාදනය මධ්‍යයේ සියලු දෙනා දේවාලය ඉදිරිපිට දණ ඔබා සිටින අතර වන්නකුරාළ විසින් මෙම කාර්යය සිදුකරයි) වන්නකුරාළ මෙය කරන්නේ වලියකුම පැවැත්වීමට අවසර ලබා දීමක් ලෙස වන අතර එතෙක් කිසිඳු කෙනෙකුට වලියකුම ආරම්භ කල නොහැක. වන්නකුරාළ ගොයිගම කුළයේ පුද්ගලයෙකු වන අතර මෙය වෙන කිසිඳු දේශීය ශාන්තිකර්මයක දක්නට නොලැබ.

      ආලත්ති අම්මාවරු යන කාන්තාවන් දෙදෙනා ද මෙහි විශේෂ චරිත දෙකකි. දේවාලය ප්‍රධාන දොරටුව අභියස රඟමඩල කෙළවර දකුණු පස සුදු පිරුවට ඇඳ දේවාලය දෙසට හැරී බිම එලන ලද අලුත් පැදුරක වාඩි වී සිටින වයස අවුරුදු 65ක් පමණ වන මේ කාන්තාවන් දෙදෙනාගේ රාජකාරිය වනුයේ, යක්දෙස්සන් විසින් "අවසර පස්වාන්දහසකට කල්පාන්තරයකට ඉරහඳ පවත්නා තේකට" කී විට " ආයුබෝවේවා " යැයි ආවැඩීමයි. එමෙන්ම මොවුන් ගොයිගම කුලයේ අය වීම අනිවාර්ය කොට තිබීමෙන් මෙම රාජකාරියේ ඇති වැදගත්කම පැහැදිලි වේ. එමෙන්ම රාජකාරිය ආලත්ති නිලය ලෙස හැඳින්වේ.

පුද්ගල චරිතවල මෙන්ම මේ සත් දින පුරා පවත්වනු ලබන පෙළපාලි අංග තුළින් ද වලියකුම තුල ඇති සුවිශේෂත්වය මනාව පසක් වේ.

මල නැටීම

     මෙය මඩුපුරයේ මල නැටීමට හාත්පසින්ම වෙනස් වූවත් ප්‍රථම දිනයේ පටන් පේකර එල්ලා තැබූ මුව මල හෙවත් ගවර මල පහලට සිටිනෙ සේ පහත් කොට අල්ලා ගනී. ඔවුන් මුව මල හෙවත් ගවර මල කරකවමින් මල නැටීමට අදාල කවි ගායනා කරයි.පොල් මල ස්පර්ශ නොකරන අතර ලණුව අදාරයෙන් කරකවයි. මෙම ගවර මල රඟමඩලේ වහලේ උඩු වියන හරි මැද එල්ලා තිබේ. අඩි තුනක් පමණ දිග අඟල් 8ක් පමණ වූ උණ ලී කැබැල්ලක් සිහින් පටි 16කට පලා ගනු ලැබේ. එහි හරි මැද රෝදයක් මෙන් සකස් කල දරණුවක් ඇතුල් කෙරේ. ඉන්පසු එහි හරි මැද පැසුණු පොල් මලක් රඳවා ගනී. පොල් මල ඉහිරුවන අතර ගොක්කොළවලින් අලංකාර කර ගනී.මෙය වලියකුමේ හත්වන දිනය දක්වාම එල්ලා තැබේ. මෙම මල නටන අවස්ථාවේ දී පොල් මලෙන් ගිලිහී වැටෙන පොල් මල් කිනිති තමන් සතු කරගැනීමට බැතිමත්හු ඉමහත් පරිශ්‍රමයක් දරති. මෙම ගවර මලේ ඇට ලඟ තබා ගැනීම වාසනාවක් ලෙස ඔවුන් සළකයි. ඉන් ව්‍යාපාර දියුණුව සශ්‍රීකත්වය, සියලු දොස් දුරු වන බව ඔවුන්ගේ විශ්වාසයයි.


පඬුරු ලෑම

          මෙය වලියකුමට ආවේණික වූවකි. බොහෝ බැතිමතුන් නුවසේ සිට පේකරන ලද පඬුරක් රැගෙන එන අතර ස්වකීය භාරහාර සඳහා පඬුර ගැට ගැසීම සිදු කරයි. මෙහිදී යක්දෙස්සන් දෙදෙනෙක් බිම දණ ඔබා දේවාලය දෙසට වැඳ සිටින අතර බැතිමතුන් පඬුරු ගෙන ජටා පටිය හෙවත් ඒකාවැලෙහි ගැට ගසා ස්වකීය ප්‍රාර්ථනාවන් සිදු කරයි.  ඉන් නොනැවතෙන ඔවුන් බුලත් කොළයක එතූ පඬුරක් යක්දෙස්සා අතට දී ස්වකීය අභිමතාර්ථය රහසින් පවසයි. එවිට යක්දෙස්සා වලියක් තුන් කට්ටුව හා දෙවිදේවතාවුන්ගෙන් ඉල්ලා යාතිකා කරයි.

සොළොස් මඟල

          වලියකුම රංගභූමියේ හරි මැද සොළොස් මඟල යනුවෙන් හඳුන්වන සහල්වලින් සාදන ලද සැරසිල්ලකි. මේ සඳහා කැකුළු සහල් සේරු 16ක්, බුලත් 16ක්, දැල්වීම සඳහා මැටි පහන් හා තිර16ක්, ලෙල්ල රහිත පොල් ගෙඩි 16ක්, ලෙල්ල සහිත පොල් ගෙඩි 4ක්, සුදු නූල් කැරැල්ලක්, අඩි 2,3ක් පමණ දිග ලී කෝටු 4ක් අවශ්‍ය වේ.
    බිම අතුරන ලද කැකුළු සහලින් කොන් 16ක් සිටින සේ සොළොස් මඟල අඳිනු ලැබේ.මේ සඳහා ගන්නා සහල් ස්පර්ශ නො කල යුතු අතර වරින් වර වන්නකුරාළ වෙතින් නැවුම් කොතළයකට ගන්නා සහල් අවශ්‍ය සැරසිල්ලේ ආකෘතියට අනුව බිමට වක් කරනු ලැබේ. මෝස්තරය අඳිනු ලබන්නේ තෙලි කූරෙනි. සොළොස් මඟල වට කොන් 16කුත්, මැද පෙති 5කුත් වක්‍ර 3කුත්, ලියවැල් මාලාවකුත් සිටින සේ සොළොස් මඟල ඇඳිය යුතුය. එහි මැද එක් පෙත්තක් වැඩුණු පිරිමියෙකුගේ දෙඅල්ලක් තරම් විය යුතු අතර එවැන්නෙකුගේ දෝතට ගත හැකි ප්‍රමාණයේ සහල් එක් පෙත්තකට තැබිය යුතුය. මෙසේ අඳිනු ලබන සොළොස් මඟලයේ කොන් සොළොස මත බුලත් 1 බැඟින් සහ ඒ මත ලෙල්ල රහිත පොල් ගෙඩි 1 බැඟින් තබයි. පොල් ගෙඩිය මත පහන් තිර 1 බැඟින් තබා ඒවා දල්වන අතර පඬුරු 1 බැඟින් තබයි. ඉන් පසු ලෙල්ල සහිත පොල් ගෙඩි සතර සොළොස් මඟල හාත්පස මැදි වන සේ තබා ඒ මත ලී කෝටු එක බැඟින් සිටුවයි. මෙම ලී මත තුන් පට බැඟින් ඔතන කද ලණු දවටන අතර එහි දෙකෙළවර ආලත්ති අම්මාවරුන්ට දෙයි.
මැද පෙති පසෙක වට රැස් තරු               වළල්ලා
එය වට කර සැදි බොතුරු                       වළල්ලා
ඊට පිටින් ඇඳි ලියවැල්                           වළල්ලා
මෙසේ මෙදැන අදු පේකඩ                     වළල්ලා
    ලංකාවේ වෙනත් බොහෝ ශාන්තිකර්ම සඳහා අටමඟල යනුවෙන් හඳුන්වනු ලබන සැරසිල්ලක් වුව ද වලියක් මංගල්‍යයේ සොළොස් මඟල ඒ අතර විශේෂ වේ.


සිවිලි වළං

         වලියක් රඟමඩලේ වහල සුදු රෙදිවලින් උඩු වියන් බැඳ තිබේ. දේවාලයේ ප්‍රධාන දොරටුවත් රඟමඩල කෙළවරත් අතර වම්පස සිවිලි වළං යනුවෙන් හඳුන්වන කුඩා මුට්ටි 12කි. වලියකුමේ 6වන දින සිවිලිය නම් වූ දේවාභරණය මෙම මුට්ටිය මත තබන හෙයින් මීට සිවිලි වලං යැයි කියනු ලැබේ. මේ මුට්ටි වටා සුදු හුණුවලින් බෝකොළයක ආකෘතිය සිතුවම් කර තිබේ. සිවිලි වළං තුළට හාල් ස්වල්පයක් සහ පඬුරක් බැඟින් දමා තිබේ. එක් මුට්ටියක මෙවැනි සිත්තම් තුන බැඟින් ඇත. කෙසෙල් කොලයක් මත එක මත එක තබන සිවිලි වළං දොළස මත නීල වර්ණ රෙදිකඩක් අතුරයි. ඒ මත බුලත් කොළ කිහිපයක් කවාකාර ලෙස තබා සුවඳ කුඩු, කපුරු, පිනි දිය, පඬුරු, විවිධ වර්ණ මල් ආදිය තැන්පත් කර තිබේ. වලියකුම පවත්වන දින 7තුළම යථෝක්ත සිවිලි වළං රඟමඩල අභියස තැන්පත් කරයි.  

වලියක් බත

         දේවාලයේ දොරටුව අභියස අසල පිල් කඩ මත කෙසෙල් කොළයක් මත ස්ථාන 3ක වලියක් තුන්කට්ටුව වෙනුවෙන් කැකුළු සහල්වලින් පිසින ලද බත් තුනකි. ඒ අසළ දල්වන ලද මැටි පහන් 3ක් සහ වතුර පිරවූ මැටි කෙණ්ඩියකි. වලියකුන් බත් අනුභව කිරීමෙන් පසු ඔවුන්ට බීම පිණිස මේ වතුර සහිත කෙණ්ඩිය තබා තිබේ යන්න පවත්නා විශ්වාසයයි. වර්තමානයේ වලියක් බත සඳහා කැකුළු සහලින් පිසින ලද බත් පමණක් යොදා ගනී. ඇතැම් දවසක බත් වෙනුවට කිරිබත් පුදයි. එහෙත් මේ පිළිවෙත සාවද්‍යයි. වලියක් තුන්කට්ටුව සඳහා කිරිබත් නොපිදිය යුතු අතර බත් පමණක් නොව ඒ සඳහා පිසින ලද එළවළු තුනක් ද තැබිය යුතුය. දිනකට එක් සහල් සේරුවකින් පිසින ලද බත් පිදීම චාරිත්‍ර නියමයයි. වලියකුන් සඳහා බත පිසීම දින හත පුරාම අනිවාර්යයෙන් සිදු කෙරේ.

කාලි යාම

         මෙයද වලියකුම තුල ඇති එයටම ආවේණික වූ අවස්ථාවකි.  අවසන් දින දහවල් 2.45ට පමණ ආරම්භ වන පෙළපාලියකි. තනිකච්චි ඇඳුමකින් සැරසුණු නැට්ටුවන් දෙදෙනෙකු සුදු රෙද්දක් හිස සිට දෙපතුල දක්වා පොරවා ගනී.මෙය වහන්තරාව නැතිනම් මොට්ටැක්කිලිය යන නාමයෙන් ද හඳුන්වයි. ඔවුන් දේවාලය ප්‍රධාන දොරටුව අභියස සිට දේවාලයට හා දේවාභරණවලට නමස්කාර කරයි. ඉන්පසු දේවාලයේ වම්පසින් වටයක් ගොස් ආපසු ප්‍රධාන දොරටුවට පැමිණෙන විට යක්දෙස්සා "අවසර පස්වාන්දහසකට කල්පාන්තරයකට ඉරහඳ පවත්නා තේකට" යැයි කියන විට ආලත්ති අම්මාවරු "ආයුබෝවා" යැයි ආවඩයි. මෙලෙස තුන් වරක් කිරීම සිරිතයි.

ගරා නැටීම

      සත් දින වලියක් මංගල්‍යයේ අවසන් පෙළපාලිය ලෙස ගරා නැටීම සිදු කරයි. තනිකච්චි ඇඳුමකින් සැරසී නළුවෙකු ගරා වෙස්මුහුණක් බැඳ අඹ කොළ අතු මිටි දෙකකි දෑතට ගෙන විශ්ණු දේවාලයේ තුන්වන මහලේ සිට හූ හඬ දෙමින් නරඹන්නන් අතරින් රඟමඩලට පැමිණේ. මෙහිදී ගරායකු ලෙස සමාරෝපණය වීම අවශ්‍යය. වියරු නැටුමක ස්වරූපයෙන් ගරා යකා අනුරූපණය කර "තග්ගජිං තග්ගජිං තග්ගජිං" යන දේව පදයට අනුව නර්තනය කරයි. අනතුරුව බෙරකරු සමඟ සංවාදයේ යෙදේ. පසුව ගරායක් පදය නටා දේවාලය ඉදිරිපිට බිම වාඩි වේ. වන්නකුරාළ විසින් බත් කැවුම් ඉදුණු කෙසෙල්ගෙඩි සහිත පළතුරු වට්ටියක් දොල පිදේනි ලෙස ලබා දෙයි. ගරා යකා එම දොළ පිදේනි බුදින ආකාරය අනුකරණාත්මකව දක්වයි. අනතුරුව පැන් කෙණ්ඩියෙන් පැන් බී අවසන් වූ පසු ගරා යකාගේ වෙස් මුහුණ නිල් රෙදි කඩකින් වසා දමයි. එහිදී යාතිකාවක් ගායනා කරයි. යාතිකාව අවසන් වූ වහාම එක් වරම නැඟී සිටින ගරා යකා තෙවරක් හූ හඬ නංවා සියලු දෝස දුරු උනා යැයි ප්‍රකාශ කරයි. ඉන් පසු නිල් රෙදිකඩ වන්නකුරාළ විසින් ඉවත් කරන අතර එවිට ගරායකු නිල් රෙදි කඩ රැගෙන නරඹන්නන් අතරට ගොස් පඬුරු රැස් කරයි. නරඹන්නන් පඬුරු පුදා තම දෝස දුරු වේ යැයි ප්‍රාර්ථනා කරයි.


      අවසානයේ වන්නකුරාළ විසින් දේවාභරණ දේවාලයට වැඩමවයි. හක් පිබීම, හේවිසි වාදන මධ්‍යයේ මෙම දේවාභරණ දේවාලයට වැඩමවනු ලැබේ . අනතුරුව වන්නකුරාළ දේවාභරණ මත තිබූ මල් නරඹන්නන් අතරට විසි කරයි. මෙම අවස්ථාවේ මැටි පහන්වල වූ තෙල් හිසේ ගා ගැනීමටත් බැතිමත්හු මහත් අභිරුචියක් දක්වති. අනතුරුව ප්‍රධාන කපුරාල කැවිලි වර්ග, පොල්මලින් ගිලිහෙන කොටස්, පිරිත් නූල් කැබලි නරඹන්නන් අතර බෙදා දෙයි. අවසන පිං බෙර වයා ආලත්ති අම්මාවරු ආයුබෝවේවා!!! යනුවෙන් තෙවරක් කී පසු වලියකුම අවසන් කරයි.

ජායාරූප 

ගවර මල



සොළොස් මඟල 



විශ්ණු දේවාලය 






1 comment: