නර්තන කලාවේ ප්‍රභවය හා විකාශනය
නර්තනය නැතහොත් ඉංග්‍රීසියෙන් ඩාන්ස් (DANCE) සහ නැටීම හෙවත් ඩාන්සින් (DANCING) යනුවෙන් දක්වන වචනය ප්‍රභවය වූයේ ජර්මන් මූලයකින් බව ආර්නෝල්ඩ් එල් හැස්කල් ගේ මතය යි. Royal ballet school ආයතනයේ අධ්‍යක්ෂක ආර්නෝල්ඩ් එල් හැස්කල් 1960 දී "නර්තනයේ කතාන්තරය" නමින් පල කල කෘතියෙහි ආදී ගල් යුගයේ සිට මාර්ගෝ ෆොස්ටින් සහ රැඩොල්ප් නුරෙයෙව් වැනි ලෝක ප්‍රසිද්ධ බැලේ නාට්‍ය ශිල්පීන් තෙක් විවෘත කතාවක් විග්‍රහ කලේ ය. එතුමන්ගේ අදහස වූයේ ලෝකයේ වාසය කරන හැම කෙනෙකුටම නර්තනය හිමි බව ය.
ලෝකයේ පවත්නා සියලුම භෞතික හා මානව සංසිද්ධීන් කිසියම් රිද්මයකට අනුව සිදු වන බව මතය යි.මෙහි රටාවක් ඇත. නාඩි වැටීම, හෘද ස්පන්දනය, රුධිර සංසරණය වැනි ශාරීරික, ඇතැම් අභ්‍යන්තර ක්‍රියාදාමයන් අපට පාලනය කළ නොහැක. එහෙත් ඒවා සිදු වන්නේ යම්කිසි රිද්මයකටය. චලනය යනු චිත්තවේගය අනුව දක්වන ප්ප්රතික්රියාවයි. අප හැඟීම් ප්‍රකාශ කරනුයේ චලනයෙනි. මෙම භාවමය හැඟීම් ප්‍රකාශනය මානව සබඳතා වර්ධනයට හේතු වේ.
මෙම මානුශීය ක්‍රියාකාරකම් සේම උදය, දහවල, රාත්‍රිය, හිරු නැඟීම, බැසීම, අව්ව, වැස්ස, මුහුදෙහි රළ නැඟීම ආදී ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම් ද සිදු වනු යේ කිසියම් රිද්මයකට යටත්ව ය.
සතුට, විනෝදාස්වදය, වින්දනය, ප්‍රීතිය ,රසය අපට ලබා දෙන ප්‍රදානතම සෞන්දර්යය කලාවක් ලෙස සැලකෙන නර්තනයේ ප්‍රභවය බොහෝ ඈත අතීතයකට දිව යයි. ඇතමුන් පවසන්නේ එය මානව සංහතියේ ආරම්භය තෙක්ම පරණි බව ය.
මාස්ලෝ නැමති සමාජ විද්යාඥයා පෙන්වා දෙන ආකාරයට ආහාර අවශ්‍යතාවය,ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය, ලිංගික අවශ්‍යතාවය යන ප්‍රාථමික අවශ්‍යතාවය තුන අනුක්‍රමික වශයෙන් මානවය හා බැඳී සිටී. මෙකී ප්‍රාථමික අවශ්‍යතා තෘප්ත කර ගනිමින් ජීවිතය පවත්වා ගැනීම සඳහා මානවයා විසින් සොබා දහම සමඟ කරන ලද සදාතනික අරගලය නර්තන කලාව බිහි වීමේ මූලික පදනම වූ බවය.
භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව තාණ්ඩව නර්තනය ඊශ්වර නිර්මාණයකි. ලාස්‍ය නර්තනය පාර්වතීගෙ නිර්මාණයකි. අසදෘශ වන්නමේ කියවෙන ආකාරයට මහා සම්මත රජුගේ රාජ පදවි ප්‍රාප්තියට දෙවිවරු මෙලොවට බැස දෙවි ලොව නැටුම් රඟ දක්වන ලදින් ඉන් පසු මෙලොව ද එම නර්තන ඇති වී තිබේ.
නර්තනය දේවත්වයෙන් වෙන් කල නොහැකි බවත් එය ස්වර්ගයෙන් ලැබුණු දායාදයක් බවත් ග්‍රීක දාර්ශනිකයෙක් වූ ප්ලේටෝ සඳහන් කර තිබේ. නර්තනය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස සඳහන් කරනු ලැබුව ද, එය දෙවියන් හා සමාන වූ මිනිසුන් විසින් කරන ලද නිර්මාණයක් ලෙස සිතීම සහේතුක ය.
ආදී මානවයා සොබා දහමේ තවත් එක සත්වයෙකු වූ අතර ජීවත් වීමේ දී ඔවුන්ට සොබා දහමට එරෙහිව අරගල කරන්නට සිදු විය.එකී අරගලයත් සමඟ ජීවිතය ගෙන යාමේදී සොබා දහමත් එයට අරක් ගත් බලවේගත් වන්දනාමාන කලා විය යුතු ය. සොබා දහමේ කැළඹීමෙන් ස්වභාවිකව සිදුවන ව්‍යසනයන්, සිය ජීවිතයේ පැවැත්මට තර්ජනය වන්නා වූ විවිධ රෝග පීඩා මෙන්ම තමන්ට ලැබෙන ආහාර හිඟවීම්, ආරක්ශාවට තර්ජන
එල්ල වීම ආදීය නොපෙනෙන බලවේගයන් නිසා සිදු වන බව ඔවුන් සිතූහ. එම නිසා එවැනි වාතවරණයන් උදා වූ කල නොපෙනෙන බලවේගයන්ට බැතිබරව ආයාචනය කලහ. ඔවුන් පිනවන්නට පිදිවිලි දීම පමණක් නොව ගායනය, වාදනය හා නර්තනය ද කළහ.
එපමණක් නොව මරණයෙන් මතු මිය ගිය පුද්ගලයන් ජීවත් වන්නාවුන්ට වඩා බලගතු ආත්මයන් බවට පත්වන බවත්, ඔවුන් අමනාප වූ කල රෝග පීඩා ඇති කරන බවත් ඔවුන් ඇදවූහ.එම නිසා විවිධ ආකාරයට මිය ගිය ආත්මයන්ට පුද සත්කාර කරනු ලැබූහ. ඉන්දියානු දූපත්වල කාන්තාවන් අවමංගල අවස්තාවන්හි දී පවත්වනු ලබන වට නැටුම් ද, ලංකාවේ වැදි ජනයා අතර ප්‍රචලිත අවමංගල්‍ය චාරිත්‍ර ආශ්‍රිත නර්තන ද, මේ පිළිබඳව ආසියාතික රටවලින් ලබා ගත හැකි ජීවමාන සාධකයි.
එවැනි විශ්වාස මත ඇති වූ ප්‍රාථමික ඇදහිලි තම ශිෂ්ටාචාරයන් වර්ධනයත් සමඟ වැඩෙන්නට වූ බවත්, ඒ ඇසුරෙන් බිහි වූ යාතු කර්ම මත නර්තනය ගොඩනැඟෙන්නට ඇති බවත් පිළිගැනීමයි. මේ නර්තනයේ ආරම්භයට පූජාර්තය මුල් කර ගත් අවස්ථාවයි.
මේ හැර දඩයමක් සාර්තක වූ කළ, තම පවුලට සාමාජිකයකු එකතු වූ කල ඇති සතුටුදායක චිත්තවේගයන් ප්‍රීීීීීීීීතිමත් චලන රටාවන් ලෙස ප්‍රකාශ වන්නට විය. එකී ආරම්භයත් සමඟ විකාශනය වූ චලන රටා නිසා විනෝදාස්වාදය මුල් කොට ගත් නර්තන අවස්ථා බිහි වූ බව සිතිය හැකි ය. මෙවැනි හේතූන් නිසා නර්තනය
" පූජාර්ථය " හා " විනෝදාස්වාදය " යන මූලික සංකල්ප දෙක මත පදනම් වූ බව සමාජ හා මානව විද්යාඥයන්ගේ මතය යි.
ආදි කල්පික ජන සමාජයන්හි අභිචාර විධිවල හා පුද පූජාවල නර්තනය හා සමාරෝපනය බෙහෙවින් දක්නට ලැබෙන බව ජේම්ස් ජෝජ් ප්රේසර්, එල් හැට්වෙයර්, ඩබ් රිජ්වේ වැනි පඬිවරු සඳහන් කරයි.සශ්‍රීකත්වය ඇති කර ගැනීම සඳහා ද ලෙඩ රෝග වලින් මිදීම සදහා ද මෙම නර්තන සමාරෝපණ කාර්යයන්හි නියැළුණු බව එම උගතුන් ගේ පිළිගැනීමයි.
නර්තනය ප්‍රභවය පිළිබඳ අධ්‍යයනය කරන මානව විද්‍යාඥයන් මානව වංශය ප්‍රධාන කාල තුනකට බෙදා වෙන් කරති.
* පෙලියෝතිලික යුගය හෙවත් පූර්ව ශිලා යුගය
( ක්‍රි.පූ 50000 - 14000 දක්වා )
* මෙසොතිලික යුගය
(ක්‍රි.පූ 14000 - 7000 දක්වා )
* නියෝතිලික යුගය හෙවත් නව ශිලා යුගය
(ක්‍රි.පූ 7000 - 4000 දක්වා )
පූර්ව ශිලා යුගයෙහි නර්තන පිළිබඳ නිශ්චිත සාධක නැතත් සොබා දහම් වන්දනාව ඔවුන් අතර පැවති බව අනුමාන කෙරේ. එහෙත් මධ්‍ය ශිලා යුගයට හා නව ශිලා යුගයට අයත් ගුහා චිත්‍ර ආදී ම මානවයාගේ නර්තන කලාව පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි වැදගත් ප්‍රාග් ඓතිහාසික සාධකය යි.
උදා : සිසිලියේ ගුහා චිත්‍ර
ප්රංශයේ ලැස්කෝ ගුහා චිත්‍ර
ස්පාඤඤයේ මොරෙල්ලා ඩිලා ගුහ චිත්‍ර
ක්‍රි.පූ 3000 පමණ වන කාලයේ දී මිසර ශිෂ්ටාචාරයේ නර්තන ආගමික ඇදහිලි සමඟ බද්ධව තිබූ බවට සාක්ශි තිබේ. ඔරිසිස් නමැති සශ්‍රීකත්වයට අධිපති දෙවියන් වෙනුවෙන් නර්තනය කල බවට මිසර පිරමීඩ වල කර ඇතිකැටයම් හා චිත්‍ර ඇසුරින් පෙනී යයි. ඔවුන් අතර ග්‍රහ වස්තු පිදීමේ නර්තනයද, සදා කාලිකත්වයේ මංගල්‍යය නැමැති අවමංගල්‍යය නර්තනයක් ද පැවතී තිබේ.
ඉතා පැරණි ශිෂ්ටාචාරයක් වන සුමේරියානු හා බබිලෝනියානු ශිෂ්ටාචාරවල දේව ඇදහිලි රාශියක් පැවති අතර, එකී ඇදහිලි හා බැඳුණු නර්තන ද විය.අහසට අධිපති අන් (An ), පොළොවට අධිපති එන්කි (Enki ), වාතයට අධිපති එන්ලිල් (Enlil), පාතාල ලෝකයට අධිපති ඉරෙෂ්කිල් (Erishkigal), යුද්ධයට අධිපති ඉනන්නා (Inanna ), යන පස් දෙනා ප්‍රධාන දෙවිවරු පස්දෙනා වූ අතර, එන්ලිල් ඔවුන් අතරින් ප්‍රධාන දෙවියා ය. ඔවුන් අතර නන්න ( සඳ - Nanna ) සහ උතු ( හිරු -utu ) යන දෙවිවරුන් ද විය.මෙකී දෙවිවරුන් වෙනුවෙන් පවත්වන ලද දේව පූජාවල දී නර්තනය අනිවාර්ය අංගයක් වශයෙන් පැවතියේ ය.
ආගමික ස්ථාන හා බැදි නර්තන, අවමංගල්‍යය චාරිත්‍ර හා බැඳි නර්තන, යුධමය නර්තන, ගායන වෘන්ද නර්තන, ලෞකික නර්තන වැනි නර්තන රාශියක් ග්‍රීක සංස්කෘතියෙහි පැවති අතර,රෝම සංස්කෘතියෙහි කෘෂිකර්මාන්තය පදනම්කර ගත් නර්තන සහ කුජ ඇදහීම පදනම් කර ගත් නර්තනාංගද බිහි විය.
වර්ගයාගෙ පැවත්ම නොකඩවා පවතවාගෙන යැමේ අභිලාෂයෙන් කරනු ලබන අභිචාර විදි හා නර්තන ද ප්‍රාථමික සමාජයන් හි දක්නට ලැබේ. ඕස්ටේලියනු "මෙයාරී" ගෝත්‍රිකය්න් අතර චාරිත්රානුකූල නර්තනයක් වශයෙන් පවතින "වයි යුං ආරි" නැටුම පිරිමි දරුවන් වැඩි විය පැමිණීම අරඹයා කරනු ලබන්නකි.
මෙසේ ආරම්භ වූ නර්තනය කාලයාගේ ඇවෑමෙන් ආගමික සම්බන්ධතාවයෙන් බැහැර වූ සමාජ නර්තන ලෙස වැඩෙන්නට විය. පූජාර්තය අතික්රමණය කරමින් විනෝදාර්තය ඉස්මතු වීම හේතු කොටගෙන මෙකී කලාවෙහි බොහෝ වෙනස්කම් සිදු විය.
ගෝත්‍රික සුරක්ෂිත භාවය සඳහා ප්‍රාථමික සමාජවල අත්‍යාවශ්‍ය අංගයක් ව තිබූ යුද්ධය, නර්තනය හා සම්බන්ධව දැක්වීය. පොලු, කඩු, මුගුරු, දුනු වැනි ආයුධ අත දරා යුද්ධය අනුකරණය කිරීම හා යුද්ධයේ ජය ලබා ගැනීම වැනි සංග්‍රාම අවස්ථා සංකේතවත් කල විට යුද්ධයෙන් නියත ජයක් ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කළහ. යුද්ධයට අධිපති "අතිමානුෂ" බලවේගයන් පිනවීම සදහා ගෝත්රික උත්සවයන්හි දී ද නර්තන පවත්වනු ලැබී ය.වසර 5000කට වඩා පැරණි යැයි සැලකෙන ලක්සෝර් (Laxor) කඳුවැටි වල ඇති යුගල නැටුම් විදහා දක්වන චිත්‍ර මෙයට කදිම නිදසුනකි. ස්ත්‍රී පුරුශයන් මුහුණට මුහුණලා හිඳ කරනු ලබන නර්තන විලාශ ඇතුලත් මෙම චිත්‍ර කැටයම් ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ඒවා බව සැලකේ.
මානව සංහතියේ සංවර්ධනයත් සමඟ එක් එක් යුග පසු කරමින් විවිද රටවල සංස්කෘතික අනන්‍යතා හිමි කර ගත්තේය. භාරතයේ වෛදික සංස්කෘතියත් බටහිර රටවල කතෝලික පසුබිමත් ශ්‍රී ලංකාවේ පූර්ව-විජයාවතරණ පසුබිමත් සමඟම නර්තනය හා සමාජ සංස්ථාව අතර මනා සම්බන්ධතාවයක ආරම්භය සිදු වී ඇති බව පැහැදිලි ය. විවිධ යුගවල දී නර්තන කලාව පැවති තත්වයන් අනුව ආගමික සබඳතාව දෙවියන් පිදීම, ලෙඩ රෝග නිවාරණය, සශ්‍රීකත්වය, රාජ්‍ය අනුග්‍රහය සමඟ උත්සව හා රාජ්‍ය උත්සව ආදී අවස්ථා මුන්ල් කොටගෙන පෙර අපර දෙදිග ශිෂිටාචාර තුල නර්තන විකාශණය සිදු වී ඇත. පසුකාලීනව නිර්මාණ සුවිශේෂී අනන්‍යතා ලක්ෂණයන්ගෙන් පිරි නර්තන සම්ප්‍රධායන් ලෙස විකාශය වී ඇත.
පෙරදිග රටවලට අදාළ නර්තනයේ විකාශණය පිළිබඳ සාකච්ඡාකිරීමේ දී, වඩාත් ප්රමුඛතාවක් දක්වන රටවල් කීපයක් හඳුනා ගත යුතු ය. ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් පෙරදිග නර්තන කලාවට ආවේණික වූ සංස්කෘතික අනන්යතාව ප්රදර්ශනය කරන රටවල් අතරින් කිපයකි. පොදුවේ ගත් කල පෙරදිග නර්තනය අපරදිග නර්තනයට වඩා ස්වරූපයෙන් මෙන්ම හැඩයෙන් හා ගතිලක්ෂණයෙන් ද වෙනස්ව සිටී.
පුනරුද සමයෙහි ඉතාලියකේන්ද්‍රස්ථාන කොට ගෙන අපරදිග නර්තන කලාව ලෙස බැලේ නර්තන කලාව, ඔපෙරා නර්තන කලාව වැනි අංග බිහි විය. විනෝදාර්ථයම පදනම් කර ගත් මෙම නර්තනයන් ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම කලාව වෘත්තියක් බවටත්, කලාකරුවන් වෘත්තියකයන් පිරිසක් බවටත් පත් විය.ඇමරිකාව වැනි රටවල් කේන්ද්‍ර කොට ගෙන බෝල්රූම්, වොල්ට්ස්, ටැන්ගෝ, ෆොක්ස්ට්රෝට්, කුයික් ස්ටෙප්, සැල්සා, හොප් ආදිය එලෙස බිහි වූ නර්තනයන් ය.
සාම්ප්‍රධායික නර්තනයන්ගේ මූල බීජය ආගමික සබඳතාවයකින් යුක්තය.පෙරදිග නර්තනය නියෝජනය කරන ඉන්දියාවේ සාම්ප්‍රධායික නර්තනයන් සියල්ලම හින්දු ආගමික ප්‍රභවයක් මත ගොඩනැඟී ඇති බව පෙනේ. භරතමුනි, නන්දිකේඅහිවර වැනි පඬිවරුන් එකී කලාව හඳුන්වන ලද්දේ දෙවියන්ගේ නිර්මාණයක් ලෙසය.භරත, කථක්, කථකලි,මනිපුරි, කුච්චිපුඩි වැනි නර්තන ක්රම සියල්ලක්ම දේවාලවල රඟ දක්වන ලද නර්තනයන් ය.
සමස්ථයක් ලෙස ගත් කල පෙරදිග හා අපරදිග නර්තනය පොදු මානව අවශ්‍යතා මුල් කරගෙන ප්‍රභවය ලබා ඇත. ප්‍රභවය ලැබීමේ දී එහි මූලික අභිප්‍රේරණය පොදු එකක් වුව ද, කාලයත් සමඟ එකිනෙක රටෙහි ඇති වූසංස්කෘතික ව්‍යූහයෙහි වෙනස්කමත්, ඔවුන්ගේ සමාජ අවශ්‍යතා ද පාදක කොට ගනිමින් විවිධ ස්වරූයෙන් වර්ධනය විය.
No comments:
Post a Comment