Monday, May 25, 2020

කොටස් අංක 07 - කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය






කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය

      උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වනුයේ කොහොඹා යක් කංකාරියයි. කොහොඹා කංකාරිය, කොහොඹ කංකාරිය, කොහොඹා යක්කම, කොහොඹා කන්කාරිය ආදී විවිධ නම්වලින් ව්‍යවහාර කෙරෙන මෙම ශාන්තිකර්මය තුල "යක්" යන වචනය හා සම්බන්ධ නැටුම් කොටස් කීපයක්ම අන්තර්ගත වන නිසා " කොහොඹා යක් කංකාරිය " යන නාමය වඩාත් උචිත බව මහාචාර්ය මුදියන්සේ දිසානයක මහතා පෙන්වා දෙයි.කොහොඹා දෙවියන්ට පූජෝපහාර පිණිස පවත්වන මෙම ශාන්තිකර්මය සත්කෝරළය, සතරකෝරළ, දුම්බර, උඩිනුවර, යටිනුවර, හාරිස්පත්තුව ආදී උඩරට ප්‍රදේශවල ප්‍රචලිත ව ඇති බව චාල්ස් ගොඩකුඹුර මහතා ප්‍රකාශ කරයි. මෙම ශාන්තිකර්මය තුල උඩරට නර්තන සම්ප්‍රදායේ එන සියලුම නර්තනයන් අන්තර්ගත වන නිසා උඩරට නර්තන සම්ප්‍රදායේ කෝශඨාගාරය යන නමින් ද හඳුන්වනු දක්නට ලැබේ.

      කොහොඹා යක් කංකාරියට උත්පත්ති කතාවක් ඇත. එය රාජාවලිය, කුවේණි අස්න, සිහබා අස්න, කොහොඹා යක්කම හෙවත් විජේරාජ කතාව, දිවිදොස් ශාන්තිය, දිවිරද කවි, මලේරාජ කතාව ආදී කෘතිවල සඳහන් වේ. එම කථා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේය. 

කොහොඹා යක් කංකාරිට මුල් වූ කතා ප්‍රවෘත්තිය :
       
      සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණෙන විජය මෙරට ආධිපත්‍යය දැරූ යක්ෂයින් පරාජය කොට බලය ලබා ගත්තේ කුවේණියගේ සහය ඇතිවය. විජය කුවේණි සරණ පාවාගෙන වාසය කිරීමේ දී ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරැ දෙදෙන උපන්හ. ඉකබිති විජයරජු කුවේණියව පලවා හැර මදුරා පුරයෙන් සමකුල කුමාරිකාවක් සරණ පාවා ගති. කුවේණිය දරු දෙදෙනාත් සමඟ ලංකාපුරයට ගියා ය.එහෙත් විජය කෙරෙහි කෝපයට පත් කුවේණි දිවි වෙසක් ගෙන වීදුරු දිවක් මවා විජය රජු මැරීමට තැත් කළා ය. එහෙත් බුදුන් විසින් ලක්දිව ආරක්ශාව දෙවියන් වෙත පවරනු ලැබීම හේතුවෙන් විජය රජුට අරක් ගෙන සිටි ශක්‍ර, බ්‍රහ්ම, මහේෂ්වර, කිහිරැලි, උපුල්වන්, සමන්, බොක්සැල් ආදී දෙවිවරුන් ඉදිරිපත් වී කුවේණියගේ වීදුරු දිව කඩා ඇය ගල් කර විජය රජු ආරක්ෂා කළ බව කියැවේ.

      තමා නෙරපා හැරීමෙ පලිය ගැනීම වශයෙන් කුවේණිය විජය රජුට ශාප කළාය. විජයගේ ඇවැමෙන් රජ පැමිණි පඬුවස්දෙව් රාජ්‍ය කරන සමයෙහි කුවේණිය විසින් විජය රජුට කරන ලද ශාපය පඬුවස්දෙව් රජුට වැදිණ. සිහිනයෙන් දිවිවෙසක් දැක බියපත් වූ පඬුවස්දෙව් රජු බලවත් සේ රෝගාතුර විය. කොහොඹා යක් කංකාරියේ දිවි දෝශය ලෙස හැඳිවෙනුයේ මෙයයි. මෙම දිවි දෝශය දුරු කිරීම සඳහා නොයෙක් සෙත් ශාන්ති කළ නමුත් ප්‍රතිඵලයක් නොවිණි. එහෙයින් පඬුවස්දෙව් රජුගේ සේසතෙහි වෙසෙන දේවතා දුව ශක්‍ර බවනට ගොස් ශක්‍ර දේවේන්ද්‍රයට මේ බව සැලකලේ ය.දිවියෙකු සිහිනෙන් දැක බිය වීමෙන් රෝගය හට ගත් නිසා මව් කුසින් උපන් කෙනෙකුට මෙම රෝගය දුරු කළ නොහැකි බවත් මලෙන් උපන් කෙනෙකු සොයා යාග කරන ලෙසත් ඇයට උපදෙස් දෙනලදී.

      මලෙන් උපන් කුමාරයා සොයා ගෙන්වාගැනීමේ කාර්යය රාහු අසුරේන්ද්‍රයට බාර විය. රාහු අසුරේන්ද්‍රයා ඌරු වේසයක් මවගෙන මලය රටට ගොස් මලය රජුගේ නන්දන උයන පාලු කරන්නට විය.එය දැන ගත් මලයරජු දුනු ඊතල රැගෙන ඌරා පසුපස පන්නා ගිය හ. සත් මුහුද පීනා උපක්‍රමිකව  ලංකාද්වීපයට මලය රජුව කඳවාගෙන පැමිණි ඌරා හන්තාන කන්ද අසල දී ගලක් වූ බව කියවේ. එතැනට ශක්‍රයා පැමිණ මලය රජුට කරුණු පැහැදිලි කර දී පඬුවස්දෙව් රජුගේ දිවිදෝශය සුවපත් කිරීම සඳහා කටයුතු සූදානම් කළහ. මේ සඳහා අනුරාධපුරයේ මහමෙව්නා උයනේ නියමිත දිග පළලින් විශාල මණ්ඩපයක් සදා වටතිර ඇද උඩු වියන් බැඳ පාවඩ දමා සරසන ලද මණ්ඩපය ශාන්තිකර්මය පිණිස සූදානම් කළහ.

     පඬුවස්දෙව් රජුගෙ දිවි දෝශය සුවපත් කළ පසු මලය රජු මින් මතු මෙවැනි ශාන්තිකර්ම කිරීමට තමාට පැමිණිය නොහැකි නිසා වැලිහෙළ නම් ග්‍රාමයේ කොහොඹ ගසක් යට පොකුණක දිය නාමින් සිටි කුමාරයෙකු නොමර යක් කර "කොහොඹා" යයි නම් තබා ඔහුට මෙම ශාන්තිකර්මයේ ප්‍රධාන පූජ්‍යස්ථානය පවරා තමාගෙ පිරිස සමඟ ආපසු මලය රටට ගියේ ය.

     කොහොඹා යක් කංකාරිය අතීතයේ පැවැත්වීමට හේතු වූයේ පඬුවස්දෙව් රජුට වන් දිවි දෝශය දුරු කර ගැනීමයි.නමුත් අධ්‍යතනයේ දී රෝග දුරු කර ගැනීමට, සශ්‍රීකත්වය උදෙසා, සාමූහිකත්වය ගොඩනඟා ගැනීම උදෙසා, කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ අපේක්ෂාවන් ඉටු කර ගැනීම උදෙසා, අධ්‍යාපනික වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම සංරක්ෂණය උදෙසා ප්‍රදර්ශනාත්මක ලෙසද මෙම ශාන්තිකර්මය කිරීම ප්‍රධාන අරමුණු වන බව පැහැදිලිය.

No comments:

Post a Comment