Thursday, May 28, 2020

කොටස් අංක 08 - කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයේ පෙළපාලි අනුපිළිවෙළ සවිස්තරව.




කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයේ පෙළපාලි අනුපිළිවෙළ සවිස්තරව.

පූර්ව සූදානම් වීම

1.දිනය නියම කිරීම 
          ශාන්තිකර්මය සිදු කරන්නේ ගෘහයක නම් ගෘහ මූලිකයාගෙ උපන් නැකතට අනුව ය.සුබ දිනයක් කංකාරිය කිරීමට නියම කර ගනී. පොදුවේ ග්‍රාමීය වශයෙන් සිදු කරන්නේ නම් දෙවියන්ට මසක් තුළ, තුන් මසක් තුළ හෝ කංකාරිය කරන බවට භාර වේ.

2.අගහස් වෙන් කිරීම
            ගොවිතැනින්  ලබා ගන්නා ප්‍රථම අස්වැන්න කොටස දෙවියන් වෙනුවෙන් කංකාරිය පැවැත්වීම උදෙසා වෙන් කිරීම මෙයින් සිදු වේ.එම අග්‍ර කොටස නිවසේ උස් තැනක සුරක්ෂිතව තබයි. එය උඩරට ප්‍රදේශවල දී නම් අක්‍යාල වෙන් කිරීම යනුවෙන් ද, පහතරට ප්‍රදේශවල දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න යනුවෙන්ද හඳුන්වයි.

3.රුක් පේ කිරීම
             කංකාරියේ සියලු අවශ්‍යතා සඳහා ගන්නා පොල් ගස්,කෙසෙල් ගස්,පුවක් ගස් වෙන් කිරීම හෙවත් නිල කිරීම මෙනමින් හඳුන්වයි. එසේ නිල කරනුයේ අදාල පොල් ගසට ගොක් රැහැන් ඇදීමෙනි. කංකාරියේ ගනු ලබන පොල් මල කපා ගන්නා පොල් ගස සඳහා කංකාරිය කරවන්නාගේ නිවසට උතුරු දෙසින් පිහිටි ගසක් තෝරාගෙන ගස මුල පිරිසිදු කොට සුවඳ දුම් අල්ලා කහ දියර ඉස ගොක් රැහැන් ඇද වෙන් කරනු ලබයි. මෙය පොල් ගස තහන්චි කිරීම ලෙස ද හඳුන්වයි.

4.කප් සිටුවීම
             නිශ්චිත කාලයක දී කංකාරියක් කරනවාය කියා දෙවියන් හා යකුන් විශයෙහි පොරොන්දු වීමක් මෙයින් සංකේතවත් වේ.කප සඳහා යොදා ගන්නේ කංකාරි ගෙදරට උතුරු දෙසින් පිහිටි සශ්‍රීව වැඩුණු ඵල හට නොගත් වරක ගසක උතුරු දෙසට විහිදුණු අත්තකි. පේ වුන අයෙකු ගසට නැඟ පංචතූර්ය මධ්‍යයේ කිරි රුක කපා සුදු රෙද්දකින් ආවරණය කොට කප පේ කරයි. කප සිටුවන ස්ථානයේ අටමඟල සාදා බ්‍රහ්ම පාදයේ වළක් සාදා සිව් කොන මල් බුලත් යහන් සාදා කප් වළට ඇල් වී දමා කප් කණුවට පොල්මල හා පොල් ගෙඩි තබා කප් කණුව සිටුවීම සිදු කරයි.

5.පොල් බුලතේ යාම
              කංකාරියට පෙර දිනයේ පේ වුණ පුද්ගලයන් දෙදෙනෙක් හක් ගෙඩි පිඹිමින් ගම පුරා ඇවිද කංකාරියට අවශ්‍ය ද්‍රව්‍ය  රැස් කිරීම මෙනමින් හඳුන්වයි. එදිනට ගමේ සියලු දෙනා තමන්ට හැකි පමණින් අවශ්‍ය දේවල් සපයා දීමට උනන්දු වේ.


කංකාරි දිනට පෙර දිනයේ චාරිත්‍ර 

1.මඩුව සෑදීම
          නියමිත නැකතට අනුව මඩුව සාදයි.දිගින් සැට රියනකි, පළලින් තිස් රියනකි.මඩුවේ පසෙක "යක් ගේ" සාදන අතර එහි යහනක් පිළියෙළ කෙරේ.යක් ගේ තට්ටු දෙකකි.උඩ තට්ටුව දෙවියන්ගේ ආභරණ හා ආයුධ ආදිය ද යට තට්ටුවෙ පැහැදුම් පෙට්ටියක් ද ඇත.කංකාරි මඩුවට නුදුරින් වැදි යකුන් පිදීමට "වැදි යක්පොළ" යනුවෙන් කුඩා මඩුවක් සාදයි. කංකාරි මඩුව සරසනුයේ තැඹිලි, නවසි, බෝදිලි, පුවක්, දෝතළු, නා, පුවක් මල්, කෙසෙල් ගෙඩි වැනි ශුද්ධ වස්තූන් ලෙස සළකන ඵල හා දළු වර්ග වලිනි.

2.මඩු පේ කිරීම
             යක් ගෙය සහ මඩුව පේ කිරීම හෙවත් දෙවියන්ට කැප කිරීම මඩු පේ කිරීම් වේ.සුවඳ පැන් ඉස, දුම් අල්ලා, මඟුල් බෙර වයා, පහන් දල්වා, මඩු පේ කිරීමේ කවි කියා මඩුව පේ කිරීම සිදු කරයි.

3.තොට පේ කිරීම
           මුරුතැන් පිසීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට පැන් තොටක් දෙවියන් උදෙසා වෙන් කිරීම මෙනමින් හඳුන්වයි. ළිඳක්, ගඟක්, ඔයක් වැනි ස්ථානයක් ගොක් රැහැන් ඇද පේ කරනු ලබයි. ඉන් පසු කංකාරිය සඳහා මිස වෙන කටයුතු  සඳහා ඉන් ජලය නොගැනේ.

4.අතෝරකරුවන් පේ කිරීම
            අතෝරකරුවන් හෙවත් කොට්ටෝරුවන් කංකාරියේ යක්දෙස්සන් ගේ කාරියයන් පහසු කරවන තැනැත්තන් ය. පළමුව ඔවුන් හිස් සෝදා නා පේ වෙති.දෙවනුව දෙවියන්ගෙන් අවසර ලබා ගත යුතුය.එය කරනුයේ ප්‍රධාන යක්දෙස්සාය. අතෝරකරුවන් කැප කිරීම ලෙස ද හඳුන්වයි.


5.මල පේ කිරීම
             රුක් පේ කිරීමේදී නිල කරන පොල් ගසින් කපා ගත් පොල් මල් දෙවියන් උදෙසා පේ කිරීම මල පේ කිරීම නම් වේ.නිල කෙරූ පොල් ගස මුල පවිත්‍ර කොට පේ වූ අයෙකු ගසට නැග මඟුල් බෙර වාදන මධ්‍ය යේ මල කපයි. එහිදී මල සුදු රෙද්දක ඔතා උඩුවියන් යටින් පාවඩ මතින් යහන මතට ගෙන යනු ලබනුයේ පංචතූර්ය හඬ මධ්‍යයේ ය. පොල් මල පේ කරනු ලබන්නේ වීරමුණ්ඩ දෙවියන් උදෙසා  ය. මඩුපුරය නැටීමට ද ගනු ලබන්නේ මේ පොල් මලය.

6.ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම
            කංකාරිය හා සම්බන්ධ දෙවියන්ගේ ආභරණ වන අවුපත්, ආයුධ, අඳින ලද පින්තූර යහනට වැඩමවීම යක්දෙස්සන් විසින් මෙනමින් හඳුන්වයි. ප්‍රදේශයේ දේවාලයක සිට ආභරණ වැඩමවීම සිරිතයි. ආභරණ අතර විශාල සළඹ දෙකක්, කෙටේරියක්, කඩුවක්, කිණිස්සක්, ත්‍රිශූලය, හෙල්ලය, වේවැලක්, කැත්තක්, හෙණ්ඩුවක්, දේවසිතුවම් (කොහොඹා, කතරගම, පත්තිනි, ගම්භාර ) ආදිය තිබේ.

7.මල්‍ යහන් කවි කීම
             යහන මතට දේවාභරණ වැඩමවූවාට පසු වෙහෙර විහාර, ගංගා, කඳු පර්වතවල සිටින සියළුම දෙවියන්ට මල් යහනට ආරාධනා කිරීම මින් සිදු වේ.මල් යහන් කවි කියනුයේ ඒ සඳහා ය.
          "මිහින්තලේ අටසැට ලෙන 
                         සේල චෛත්‍යයා  වෙහෙරට
            අඹත්ලාව මිරිසවැටිය 
                         භයාගිරිය නන්    වෙහෙරට
            ජයසිරිමා රුවන්වැලිය 
                          ථූපාරාමේ            වෙහෙරට
            අටමස්ථානේ සිටියත් 
                          වඩින්න දෙවි මල්  යහනට "

8.දෙවියන්ගේ කවි කීම ( පොල්මලේ හා මඩුපුරේ කවි )
          කංකාරිය සම්බන්ධව සියලුම දෙවියන්ගේ කෝල්මුර කවි කියා ඉන් පසු පොල් මල කැපීම හා සම්බන්ධ වතාවක් විස්තර කෙරෙන පොල්මලේ කවි හා මඩුපුරේ කවි ගායනා කෙරේ. අවසානයේ වීරමුණ්ඩ දෙවියන් උදෙසා කවි කියයි.

9.අඩක්කු පිසීමට සූදානම් වීම 
           දෙවියන්ට වෙන් කෙරුණු අක්‍යාල ගෙන වී කෙටීම සිදු කරයි. වී කොටන වංගෙඩිය වටේ සුදු පිරුවටයකින් ඔතා පුවක් මල් කිනිති තුනක් තුන් පැත්තකින් තබයි. සියලුම කාර්‍යයන් සිදු කරනුයේ පිරිමින් විසිනි. පේ කරනු ලබන පොල් ගස්වලින් ගෙඩි රැගෙන තෙල් සිඳිනු ලැබේ. වී කෙටීමෙන් ආරම්භ වන පිටි කෙටීම, තෙල් සිඳීම යනාදී කටයුතු සඳහා කවි ගායනා කෙරේ.

කංකාරිය පවත්වන දිනයේ පෙරවරු චාරිත්‍ර 

1.මුරුතැන් පිසීම 
              දෙවියන් වෙනුවෙන් මුරුතැන් පිසීම කංකාරි දින උදේ වරුවේ සිදු කරයි. පෙරවරු 8 වන විට මෙම කටයුත්ත අවසන් විය යුතුය.මෙහිදී හාල් මුට්ටි 3ක් ලිප තබා ඔත්තේ සංඛ්‍යාවලින් හාල් දමනු ලැබේ.. මුරුතැන් බත සඳහා වට්ටක්ක, අළු කෙසෙල්, කරවල ව්‍යංජන සාදනු ලැබේ. කඩවර ගොටුව සඳහා රොටි, දියමස්, ගොඩ මස්, පුළුටු පස් වර්ගයක්, ඇට ඇටි පස් වර්ගයක් ආදිය සකස් කරයි. මෙහිදී දෙවියන් උදෙසා පිදෙන ආහාරය මුරුතැන් බතයි. කඩවරයා වෙනුවෙන් පිදෙන්නේ අඩුක්කුවයි.

2.නානුමුර මංගල්‍යය / ආභරණ නිල කිරීම 
               පෙර දින යහන් මතට වැඩම කර වූ ආභරණ පේ කරන තොටට ගෙන ගොස් දෙහි මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු කිරීම මෙනමින් හදුන්වයි. මෙහිදී කොතල පදයෙන් කොටසක් ද දුම් අල්ලන විට දුම්මල පදයෙන් කොටසක් ද වාදනය කරයි. චාරිත්‍ර අවසන නැවත ආභරණ රතු රෙදිකඩක ඔතා පැන් තොටින් පැන් කළයක් ද රැගෙන කංකාරි මඩුවට විත් පොල් ගෙඩියක් බිඳ මෙය අවසාන කරයි.

3.පුදා වැඩීම
               පිසින ලද මුරුතැන් දෙවියන්ට පූජා කිරීම පුදා වැඩීම නම් වේ. මුරුතැන් යහනට ගෙනෙන විට තේවා වාදනය කරයි. මෙසේ ආහාර තටු 4ක් තබයි. මෙම තටු පේ බත් තටු නම් වේ. සෑම පේබත් තටුවක්ම කැවුම්, කෙසෙල් ගෙඩි 3 බැඟින් ද, පඬුරක් , බුලත් කොලයක් හා දල්වන ලද පහන් තිරයක් බැඟින් තබයි. පුදා වඩන අවස්ථාවේ යහන වම්පස හාල්මාළු පට්ටය නම් පොදියක් එල්ලා තබනුයේ වැදි යක් බණ්ඩාර වෙනුවෙනි.

4.යාතිකාව
              පුදා වැඩීමෙන් පසු ආතුරයා අතට බුලත් අතක් දෙයි. ඔහු යහන අසලට ගෙන්වා ගන්නා ප්‍රධාන යක්දෙස්සා පුද තටු ගෙන ආතුරයාගේ දොස් මුදා හරින ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම යාතිකාව වේ.

5.පේ බත යැදීම
               යහන මත පහන් දල්වා මඟුල් බෙර වාදනයක් පැවැත් වූ පසු ප්‍රධාන කැපකරු යහන ඉදිරියේ සිට කොහොඹා යක් කංකාරියේ මහ යාතිකාව නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. මඟුල් බෙර ද වාදනය කරයි. දේවාරාධනාවක් ද මෙහිදී සිදුවේ.

6.අයිලෙ යැදීම
              කොහොඹා කංකාරිය හා සම්බන්ධ අයිල අතර වැදි අයිලය, ගොඩ අයිලය, කඩවර අයිලය විද්‍යාමාන වේ. දවල් බත් යැදීමෙන් පසු අයිලය යැදීම සිරිතයි. කංකාරි දිනට පෙර දින පාන්දර වී කෙටීම, තෙල් සිඳීම, පිටි කෙටීම ආදිය නිමා වූ පසු ඔවුන්ට කැවුම්, කිරිබත් කෑමට දෙයි. මෙය කන්නන්කඩ ලෙස ද හඳුන්වයි.

7.දෙවියන්ගේ කවි කීම (කෝල්මුර කවි)
               ඉරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර කොහොඹා තුන් කට්ටුව, උඩුවේරිය බණ්ඩාර , වලියක් තුන් කට්ටුව හා කලු කුමාර යන දෙවිවරුන් ගේ විස්තර ඇතුලත් කවි කෝල්මුර නම් වේ.පිරුවට ඇඳ ගත් යක්දෙස්සන් දෙදෙනෙකු ගායනයට අනුකූලව සුළු චලනයක යෙදේ. සෑම දෙවියෙකුගේම කෝල්මුර කවි අවසානයේ කෙටි ආලත්තියක් වාදනය කරයි.

8.මධ්‍යම කඩවර ගොටුව දීම
             කඩවර දෙවියන්ගෙන් ශාන්තිකර්මට අයහපතක් වේය යන විශ්වාසෙන් එය සිදු නොවීමට කඩවර දෙවියන් වෙනුවෙන් පුදදෙන පිදේන්න කඩවර ගොටුව වේ. එයට බත්, කෙසෙල්, වට්ටක්කා, කරවල, බිත්තර බැදුම්, දල්වන ලද පන්දම්  දෙකක්, බුලත් විටක්, පුවක් මල් කිනිත්තක්,කෙසෙල් කොල ඇතිරූ නෑඹිලියක දමා එය ආතුරයාගේ හිස මත තබා කඩවර කවි ගායනා කරයි. ඉන් පසු එය කංකාරි මඩුවට මෑතින් සාදා ඇති කඩවර අයිලයට ගෙනයයි.

9.දෙයියන්ගෙ දානය
             පුදා වැඩීම සඳහා ගත් සියලුම  කෑම වර්ග දැමූ වට්ටිය මෙනමින් හැඳින්වේ. ප්‍රථමයෙන්ම එහි කොටසක් ආතුරයා භුක්ති විඳින අතර ඉන් පසු රැස්ව සිටින සියලු දෙනාට එය භුක්ති විඳින ලෙස ආරාධනා කරයි.

කංකාරි දින පස්වරු චාරිත්‍ර 

1.මඟුල් බෙර වාදනය
             වාදකයක් 4 දෙනෙකු පමණ සහභාගී වේ.මඟුල් බෙර වට්ටම් 4ක් ගසන අතර අත්‍යා බෙරද සුළු වශයෙන් වාදනය කරයි.

2.වැදි යකුන් නැටීම 
             මඩුව මැද අලුත් පැදුරක් එලා ඒ මත අටමඟල ඇඳ එහි ආතුරයා වාඩි කරවා අතට බුලත් කොළයක ඔතන ලද පඬුරක් ලබා දෙයි. තනි කච්චියේ ඇඳුමෙන් සැරසුණු නැට්ටුවෝ පොල් ගෙඩියකින් සාදන ලද පන්දමක් අතට ගෙන නටනු ලබයි.
3.යක් ඇනුම
            සියලු යකුන්ට කංකාරි මඩුවට පැමිණෙන ලෙස කරන ආරාධනය මෙයින් ද්වනිත වේ. මෙහිදී යක් ඇනුම ස්වල්පයක් නටයි. තනි කච්චියෙන් සැරසී නටයි.

4.හත්පද නැටීම 
       1.බුලත් පදය - බුලත් අතක් ගෙන ප්‍රථමයෙන්ම යහන ඉදිරිපිට තනි කච්චි නැට්ටුවෙකු නටනු ලැබේ.     
          මින් දෙවියන්ට යහනට ආරාධනා කිරීමක් ගම්‍ය වේ.
      2.කොතල පදය - කංකාරි මඩුව පුරා කහදිය ඉසිමින් පවිත්‍රතාව සංකේතවත් කරන නර්තනකි.
      3.සළු පදය - සුදු සළුවක් ගෙන දෙවියන්ට පවන් සැළීම නිරූපනය වන නර්තනයකි.
      4.දුම්මල පදය - දෙවියන්ට කෙරෙන සුවඳ දුම් පූජාවකි.
      5.පොල් පදය - ලෙලි හරින ලද පොල් ගෙඩියක් ගෙන එක් නැට්ටුවෙකු විසින් නටනු ලැබේ.
      6.ආවළඳ පදය/යහන් මුට්ටි පදය - සහල්, මුං ඇට ආදී ද්‍රව්‍ය කීපයක් දැමූ කට වැසූ මුට්ටියක් රැගෙන             .        නටනු ලැබේ
     7.සැවුල් පදය - එක් අතකට රතු කුකුළෙක්ද අනෙක් අතට පස්කොළ අත්තක්ද ගෙන සැවුල් පදය නටයි
(ඉහත සඳහන් කර ඇත්තේ මුදියන්සේ දිසානායක මහතා විසින් රචිත කොහොඹා යක් කංකාරිය හා සමාජය කෘතියෙන් උපුටා ගත් හත් පදයයි.) 

5.පලවැල දානය
        කංකාරියේ දාන පහෙන් එක් කොටසකි. මෙහි සීතා බිසව ගැනත් ඇය වනාන්තරයේ තනි වූ ආකාරය ගැනත් මලය කුමරුන් තිදෙනාගෙ උපත් කතා ගැනත් විස්තර වේ. නෛඅඩි ඇඳුමෙන් සැරසුණු කීප දෙනෙක් රංගනයේ යෙදේ. 

6.වනේ යක්කම
        රඟ මඩල මැද එළා ඇති පැදුර මත උඩු යටිකුරු කරන ලද වංගෙඩියක් තබා දොලොස් ගිරිය සංකේතවත් කිරීමට බුලත් 12ක්, පඬුරු 12ක්, දල්වපු පහන් තිර 12ක් වටේට තබයි. නෛඅඩි ඇදුම ඇඳ ගත් නැට්ටුවෝ දෙදෙනෙක් වටේට නටයි. එක් අයෙකු වංගෙඩිය උඩ සිට ආතුරයාට  ආවඩයි.

7.වංගෙඩි සමයම 
         ප්‍රභල අභිචාර ලක්ෂණ පිළිඹිබු කරන්නකි. වංගෙඩියට හිස තබා නිදා සිටින නැට්ටුවෙකි. ඔහුගේ දෙපා අසළ කුකුළෙක් රඳවා සිටී. ගොට්ටකට කහ දිය ගෙන කුකුළා මතට වැටෙන සේ තෙවරක් විසි කරයි. ආතුරයා සිටින අටමඟලෙන් සහල් ගෙන ඒවාද පෙර පරිදි තෙවරක් විසි කරයි. දෙහි ගෙඩි තුවාල කර පෙර පරිදි විසි කරයි.

8.වැදි යක් පොළ
              කංකාරි මඩුවෙන් පිටත ඇති මෙය ගොඩ අයිලය ලෙසද හදුන්වයි. මෙම චාරිත්‍රය ඉර බැස යාමට පෙර අවසන් කල යුතුය. මඟුල් බෙර වයා ආරම්භ වන වැදි යකුන් පිදීම පළමුවෙන්ම අයිලය යැදීම ගායනා කෙරේ. ඉන්පසු දේවාරාධනාව ගයා දෙවියන්ට ගොඩ අයිලයේ තැන්පත් කල පූජා තටු පිළිගන්නා ලෙස ආරාධනා කරයි. මලය රජුගේ ආගමනය පිළිබඳ කවිත් කෝලමුරත් ගායනා කරයි.දේව පදය වාදනය කර මෙය අවසන් කරයි.

9.හැන්දෑ කඩවර ගොටුව දීම
             පෙර මධ්‍යම ගොටුව දීමේදී මෙන්ම හැන්දෑ කඩවර ගොටුව ආතුරයාගේ හිස තබා කඩවර අයිලයට පුදනු ලැබේ.

රාත්‍රි චාරිත්‍ර විධි

1.අයිලෙ කට කැපීම 
             අයිලය සාදා එහි කාමර වෙන් කර ඒවායේ විවරයන් සාදා කෙසෙල් පතුරු ගසා ආවරණය කරයි. මෙම චාරිත්‍රයේ දී ප්‍රධාන අතෝරකරු අයිලේ දොරටු පිහියකින් කපා විවෘත කරයි.

2.යක්දෙස්සන් පේ වීම.
             කංකාරිය කිරීමට දින 7කට පෙර සිටම සියලු කිළිවලින් යක්දෙස්සන් ආරක්ෂා වේ. යක්දෙස්සෝ වෙස් ඇඳුම ඇඳීමට ප්‍රථම දෙහි ගා හිස සෝදා නා පිරිසිදු වීම මෙහිදී සිදු වේ.

3.හඟල යැදීම 
              යක්දෙස්සන් හඟල අතට ගෙන අයිලය ඉදිරිපිට සිට කවි කියා හඟල යැදීම සිදු කරයි.

4.ආභරණ අයිලයට වැඩැම්මවීම
              මඟුල් බෙර මධ්‍යයේ දේවාලයේ සිට ගෙනැවිත් වෙනත් තැනක තබා තිබූ ආභරණ පාවඩ, උඩුවියන් මතින් අයිලයට වැඩම කරවයි.

5.පුදා වැඩීම
             පෙරවරුවේ පැවත් වූ ආකාරයට නැවතත් පුදා වැඩීම සිදු කරයි.

6.මහා යාතිකාව
            ආතුරයා අයිලය ඉදිරියේ වැඳගෙන සිටින අතර ප්‍රධාන යක්දෙස්සා ආතුරයා වෙනුවෙන් දෙවියන් වෙත යාතිකා කරයි.විජය, පඬුවස්දෙව් දිවි දෝශය පිළිබඳ සම්පූර්ණ කතාව මෙහිදී විස්තර කරයි.

7.මඟුල් බෙර
            කංකාරියට සහභාගී වන සියලුම බෙර කරුවන් ඔවුනොවුන්ට ආචාර දක්වා ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව දෙ පෙළ සැදී සම්පූර්ණ මඟුල් බෙර වාදනයක් සිදු කරයි. එහිදී එක් එක් බෙර කරුවන් තනි තනිව පූජා පද වාදනය කිරීම සිරිතයි.

8.අත්‍යා බෙර
             අතින් බෙර වයා සටන් වැදීම මෙයින් ගම්‍ය වේ. ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව දෙ පෙළ සැදෙන බෙර වාදන ශිල්පීන් අයිලය ඉදිරියේ වරකට දෙදෙනා බැඟින් තරඟයට බෙර වයයි. වාදකයන් සතු දක්ශතාවය මනාව පිළිඹිබු වේ.

9.යක් ඇනුම
              සියලුම යක්දෙස්සන් සහභාගී වන ප්‍රථම නර්තනය යි. ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වයට මුල් තැනක් හිමි වේ. කංකාරිට යකුන්ගේ ඇල්ම බැල්ම ලබා ගැනීම සහ ඔවුන් මෙම ස්ථානයට ගෙන්වා ගැනීම මෙයින් අපේක්ෂිතය.

10.අයිලෙ යැදීම (දේවාරාධානාව)
                මෙමඟින් සියලුම දෙවියන්, වැද්දන්, යකුන් කංකාරි භූමියට ගෙන්වා ගැනීම අපේක්ෂිතය. අයිලෙ යැදීම ගායනාවලින් පසු කංකාරියේ ඉතිහාස කතා පුවත ගැබ් වූ ගද්‍ය සැහැල්ලක් ද වැදි තුන් දොලොසේ කවි ද ගායනා කරයි.             
11.කුවේණි අස්න නැටීම
                  සියලුම යක්දෙස්සන් හා බෙර කරුවන් සහභාගී වේ. කංකාරි මඩුව මැද විශාල රවුමකට සිට නර්තනයේ යෙදෙන අතර අතෝරකරුවෙකු පන්දමක් ගෙන ප්‍රධාන යක්දෙස්සා ඉදිරියෙන් ගමන් කරයි. පොල් පන්දම හා ඊ ගස සියල්ලෝම අතට ගනිති.

12.යක් තුන් පදය
                    ප්‍රධාන වශයෙන් වාදනයට මුල් තැනක් දෙමින් යක්දෙස්සන් නර්තනයේ යෙදේ. ප්‍රධාන වශයෙන් පද් තුනක් වාදනය කරයි.

13.හත් පදය
                පෙර නර්තනයේ යෙදුනු පද හත නැවත නටයි.

14.ගුරුගේ මාලාව
                 ප්‍රථම නාට්‍යමය පෙළපාලියයි.දෙවොල් දෙවි ගොඩ බැසීම හා සම්බන්ධ ය.

15.කවි පස් පන්තිය
                 වීරමුණ්ඩ, ඉරුගල් බණ්ඩා, කලු කුමාර, කන්දෙ බණ්ඩා, කොහොඹා යන දෙවියන්ට ගැයෙම කෝල්මුර මෙනමින් හැඳින්වේ. එමෙන්ම උඩුවේරිය දෙවියන් , වලියක් තුන් කට්ටුව ගැන ද කවි ගායනා කරයි.

16.මධ්‍යම කඩවර ගොටුව දීම

17.දුනුමාලප්පුව 
               ඒකල නැටුමකි. ලීයෙන් සෑදූ දුන්නක් සුදු රෙද්දක ඔතා දෑතින් අල්ලා අයිලය දෙසට හැරී නටයි. කංකාරියට සම්බන්ධ දුනු දෙවියන්ට කෙරෙන පූජාවකි.

18.කෝල්පාඩුව 
              ඒකල නැටුමකි. අයිලයේ ඇති කෝලායුධය ගෙන අයිලය ඉදිරියේ නටයි. කෝලායුධය කතරගම දෙවියන්ගේ ආයුධයක් වන අතර මින් කතරගම දෙවියන්ට පූජෝපහාර පවත්වයි.

19.ආවැන්දුම 
           අතිශය දීර්ඝ වූත්, අලංකාර වූත් නර්තනයකි. මෙයට වට්ටම් 4කි. 

20.වැදි යක්කම
            යක්කම් 5 අතරින් ප්‍රථමයෙන් රඟ දක්වන්නේ මෙයයි. ප්‍රධාන යක්දෙස්සත් බෙර කරුවෙකුත් වැදි චරිතය නිරූපණ්‍ය කරන වැද්දෙකුත් මෙය කරනු ලබයි.

21.මඩුපුරේ - මල් හත් පදය
          පත්තිනි හා වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් නටනු ලැබේ. නොපිබිඳුනු පොල් මලක් ගෙන නර්තනය කරයි.

16.මල්‍ යහන් කවි
                 කොහොඹා කංකාරියේ කතාවට සම්බන්ධ නොවන දෙවියන් කිහිප දෙනෙක් යහනට වැඩමවීමට ගැයෙන කවිය.

17.දාන පහ
           1.පලවැල දානය - සීතා බිසව හා මලය රජ තුන් කට්ටුව පිළිබඳ 
           2. දිවි දානය - විජය කුවේණි දෙදෙනා ඔවුනොවුන් හැර නොයන බවට වූ දිවුරුම පිළිබඳ 
          3.සුරභි දානය - මලය රජ තුන් කට්ටුව සතු ධනු ශිල්ප දක්ෂතාව
           4.ඌරු දානය - මලය රජුගේ උයන, රාහු අසුරේන්ද්‍රයා ගේ ඌරු වේශය හා ලංකා ගමනය පිළිබඳ  
           5.වැදි දානය - මලය රජු සමඟ පැමිණි පරිවාර වැදි සේනාව පිළිබඳ 
 18.කතා පහ
           1.සිංහවල්ලි - සිංහබාහු හා සිංහ සීවලී කතාව
           2.විජය රාජ - විජය කුවේණි කතාව
           3. පඬුවස්දෙව් - පඬුවස්දෙව් රජ සම්බන්ධ කතාව
           4.සීතාපති - මලය රජුගේ උපත් කතාව
           5.මලේ රාජ කතාව

19.මහ යක්කම (විජය රාජ කතාව)
           මැණිකකට දිවි දුන් කතාව

20.කප ගැලවීම / මල බඳීම
           සිටුවන ලද කප ගලවා කංකාරි මඩුවට ගෙනැවිත් තබයි. ඉතිරි වූ මල් කිනිති යහනෙහි මැද කණුවට තියා බඳී.

21.අලුයම කඩවර ගොටුව දීම

22.යක්කම් පහ
            ඌරා, නයා, වැදි, දර්ශන, සීතා යන යක්කම් පහ රංගනය කරයි.

23.ගබඩා කොල්ලය 
           නාට්‍යමය පෙළපාලයකි.කංකාරිය සඳහා ලැබෙන ද්‍රව්‍ය තැන්පත් ස්ථානය ගබඩාවයි. ප්‍රධාන යක්දෙස්සා ඇතෙකු සේ වෙස් ගෙන ගබඩාව පිරික්සීමක් සිදු කරයි.

24.ගෙට ගිනි තැබීම
              ගබඩාවේ තුබූ සියලු දේ යක්දෙස්සන් අතර අතර බෙදා ගබඩාව විනාශ කිරීමක් සංකේතවත් වේ. එය සංකේතවත් කිරීමට පිදුරු ගොඩකට ගිනි තබයි

25.කොහොඹා හෑල්ල
              කොහොඹා දෙවියන්ගේ උපත් කතාව ගායනය කරමින් නර්තනයේ යෙදේ. විවිද තාල රූපවලට අනුව නර්තනය කරයි.



26.මුව මල විදීම
            අයිලයට පිටින් කැන මුව සහිත කෙසෙල් ගසක් සිටුවයි. ප්‍රධාන යක්දෙස්සා ලීයෙන් කල දුන්නක් ඊතලයක් රැගෙන එය කඩන අයුරු රඟ දක්වයි. කඩාගත් මුව, ඊතලයෙන් පතුරු ගසා මුව අයිලය උඩින් විසි කරනු ලැබේ.

27.මාරාව 
            අයිලය ඉදිරියේ යක්දෙස්සකු උත්කුටියේ හිඳ හස්ත චලන මඟින් කරන අභිනයකි.

28.යහන් ඇරීම
             මල්‍ යහන් කවි කියා ගෙන්වා ගත් දෙවියන් නැවත හරවා යැවීම යහන් ඇරීම නම් වේ. එහිදී දෙවියන්ට, යකුනට කවිකියා ආපසු යන ලෙස ඉල්ලීම් කරයි.

29.දෙවියන්ට පිං දීම

30.යාතිකාව
            ආතුරයාට සෙත් පතා කංකාරිය අවසන් කරයි

No comments:

Post a Comment