උඩරට වන්නම් 18
වන්නම් යන්නෙහි වාක්‍යාර්ථය වන්නේ වැනුම නැතිනම් වර්ණනය යන්නයි. සත්ව, දේව්, සිද්ධි, වස්තු හා බැඳුණු අවස්ථාවන්, අතිශයෝක්තියෙන්, කාව්‍ය මාධ්‍ය කොට ගෙන විස්තර කර දැක්වීම මෙහි දී සිදු වේ. ආරම්භයේ දී සප්‍රාණික හා අප්‍රාණික වස්තූන් හෝ යම් සිද්ධියක් පිළිබඳ ව ඊට ගැලපෙන නාද මාලාවන්ට අනුව කවි ගායනය කරමින් කරන ගායනා විශේෂයක් වූ වන්නම්වලට පසුකාලීන ව නර්තනයද එක් විය. උඩරට වන්නම් 18ක් ද, පහතරට සින්දු වන්නම 32ක් ද, සබරගමු වන්නම් 24ක් ද, ( සබරගමු වන්නම් සංඛ්‍යාව පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී ) වන්නම් සාහිත්‍යයේ සඳහන් වේ.
මෙයින් උඩරට වන්නම් 18 මහනුවර යුගයේ රජකල ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ දී මහනුවර කවිකාර මඩුවේ දී ගායනා කිරීම සඳහා රචනා කළ බව කියවේ. වන්නම් රචකයා පිළිබඳ අවිනිශ්චිත මතිමතාන්තර ඉතිහාසය පුරා තිබුණ ද දකුණු ඉන්දියාවේ නාග පට්ටම නමැති ස්ථානයේදී ගණිතාලංකාර නම් වූ බ්‍රාහ්මණ පඬිවරයෙකු විසින් වන්නම් රචනා කළ බව විද්වත් මතයයි. එයට මල්වතු විහාරවාසී හිමිනමක් ද එක් වූ බව තව දුරටත් සඳහන් වේ. එහෙත් මෙකී වන්නම් 18 විවිධාකාර වූ ව්‍යවහාර ක්‍රමවේදය නිසා ඒවා එක් රචකයෙකු විසින් ම රචනා වූ බවට සැක සහිතය. වෛරොඩි වන්නම, අසදෘශ වන්නම, ගජගා වන්නම වැනි වන්නම් වියත් බස් වහරකින් රචනා වී ඇති බව පැහැදිලිව පෙනෙන නමුත් සිංහරාජ වන්නම, හනුමා වන්නම, මුසලඩි වන්නම ගැමි සරල බස් වහරක් ගෙන තිබෙන බව පැහැදිලිව පෙනේ. මේ හේතුව නිසා ද, රචකයා පිළිබඳ අතීතය ඇති විද්වත් මතවාද නිසා ද උඩරට වන්නම් එක් පුද්ගලයෙකුගේ නිර්මාණයක් පමණක් නොවන බව සිතිය හැක. එනමුත් වැඩි දෙනා පිළිගන්නේ වන්නම් 18 ගණිතාලංකාර නම් බ්‍රාහ්මණ පඬිවරයා හා මල්වතු විහාරවාසි හිමිනම විසින් එක්ව රචනා කළ බවයි.
උඩරට වන්නම් 18 දක්නට ලැබෙන පොදු හා විශේෂ ලක්ෂණ කිහිපයකි. මේවා නර්තනය සම්බන්ධ කරගත්, කාව්‍ය මාධ්‍ය කොට ගත් ගායන විශේෂයකි. ශාන්තිකර්ම නර්තනයෙන් බැහැර වන වන්නම් වලින් අදාල ප්‍රස්තුතය අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමක් සිදුවේ. උඩරට වන්නම් අවසානයේ කස්තිරම, සීරු මාරුව, අඩව්ව ලෙස එකී තාල රූපය ට අදාළ විශේෂ පද කොටස් තුනක් නටනු ලැබේ. ආරම්භයේ දී තාල රූපය පැහැදිලි වන ලෙස තානමක් ගායනා කරයි. සෑම වන්නමක්ම තිත, බෙරපදය, තානම, කවිය, කස්තිරම, සීරු මාරුව සහ අඩව්ව ලෙස ප්‍රධාන කොටස් 7කින් යුත් ආකෘතියකින් සැකසී ඇ.ත සෑම වන්නමක් ම එකී ප්‍රස්තුතයට සරිලන තාල රූපයට අනුව තාලානුකූල ලක්ෂණ මත පිහිටා ගායනය හා නර්තනයේ යෙදේ.
වන්නම් 18 - වන්නම් පටුන
පළමුව ගාහක දෙවනුව ගජගා තෙවනුව තුරගා පවසන්නේ
සිවුවැනි උරගා මුසලඩි උකුසා වෛරෝඩි ඊළඟ එන්නෙ
අටවෙනි හනුමා නවයට මයුරා සැවුලා දසවෙනියට එන්නේ
එකොලස සිහරජ දොළොසට නෛඅඩි දහතුන කිරලා පවසන්නේ
මීළඟ ඊරඩි පසළොස සුරපති දහසය ගණපති කියමින්නේ
දාහත උදාර අවසන අසදෘශ දහ අට වන්නම පවසන්නේ
සාම්ප්‍රදායික උඩරට වන්නම් 18 කී.
✨️ගාහක වන්නම ( මංගල )
✨️ගජගා වන්නම ( මංගල )
✨️තුරඟා වන්නම ( සිද්ධි )
✨️උරඟා වන්නම ( සත්ව )
✨️මුසලඩි වන්නම ( සත්ව )
✨️උකුසා වන්නම ( සත්ව )
✨️වෛරොඩි වන්නම ( වාද )
✨️හනුමා වන්නම ( උපදේශ )
✨️මයුරා වන්නම ( සත්ව)
✨️සැවුලා වන්නම ( සිද්ධි )
✨️සිංහරාජ වන්නම ( උපදේශ )
✨️නෛයඩි වන්නම ( සිද්ධි )
✨️කිරලා වන්නම ( සත්ව )
✨️ඊරඩි වන්නම ( පුද්ගල )
✨️සුරපති වන්නම ( දේව )
✨️ගණපති වන්නම (✨️ දේව )
✨️උදාර වන්නම ( පුද්ගල )
✨️අසදෘස වන්නම ( ගුණ )
🌠 වන්නම් 18 අරුත..
✨️ ගාහක වන්නම - ශක්‍ර දේවේන්ද්‍රයාගේ දක්ෂිණාවෘත මංගල සංඛය පිළිබද විස්තරය (හක්ගෙඩිය).නාදය උස්ව පැතිරී යන අන්දම නිරූපිතය. අද්භූත රසය මවයි.
✨️ ගජගා වන්නම - මිණි ගෙඩි ශබ්දයට කන් සොලවමින් රාජාභරණ පැළඳ වඩින හස්ති රාජයෙකුගේ ගමන් විලාස වර්ණය කරයි.අද්භූත රසය මවයි.
✨️ තුරගා වන්නම - සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය දැක්වෙන වන්නමකි. මෙහි තාලය මඟින් අශ්වයෙකුගේ ගමන් ශබ්දය මැවේ. වීර රසය මැවේ.
✨️ නෛඅඩි වන්නම - බෝසතාණන් වහන්සේ නාගයෙකුව උපන් ආත්මයක් ගැන විස්තර කරන වන්නමකි. කරුණා රසය මවයි.
✨️ සැවුලා වන්නම - කද කුමරු අසුරයන් ජය ගත් අන්දමත්, දෙපළු වූ අසුරයාගේ එක් පළුවකින් සැවුලා උපන් ආකාරයත් විස්තර කරන වන්නමකි. එමෙන්ම කද කුමරුගේ සැවුල් කොඩිය ගැනද වර්ණනය වේ. අද්භූත රසය මවයි.
✨️ උරගා වන්නම - නයි පොළොන් වෛරය ගැන දැක්වෙන වන්නමකි.වීර රසය මවයි.
✨️ මුසලඩි වන්නම - හාවෙක් බියෙන් සැකෙන් වනාන්තරයෙන් එළියට පැමිණෙන ආකාරයත් ඉරු බැස යන යාමයේ සතුටින් කෙළින හාවෙකුගේ ඉරියව් ද ප්‍රකාශ වේ. ශාන්ත රසය මවයි.
✨️ උකුසා වන්නම - උකුස්සෙකුගේ හැසිරීම ගැන පවසන වන්නමකි.ඊශ්වර දෙවියන් හා මහලොව අතර වූ සංවාදාත්මක වර්ණනාවකි. වීර රසය මවයි.
✨️ මයුරා වන්නම - කතරගම දෙවියන්ගේ වාහනය වන මොණරා පිල් විදහා කරන රංගනය කියැවෙන වන්නමකි. අද්භූත රසය මවයි.
✨️ කිරලා වන්නම - කිරලාගේ ඉරියව් හා ගමන් විලාසය නිරූපණය කරන වන්නමකි. කරුණා රසය මවයි.
✨️ සිංහරාජ වන්නම - සිංහයෙක් වටා ගෙතුණු උපදේශාත්මක වන්නමකි. ඉබ්බෙකුගේ ප්‍රයෝගයකට හසුව ලිඳකට පැන මරණයට පත්වන සිංහ රජෙක් පිළිබඳ කියවේ. හාස්‍ය රසය මතුවේ.
✨️ හනුමා වන්නම - වදුරෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන වන්නමකි. කරුණා හා හාස්‍ය රසය මවයි.
✨️ උදාර වන්නම - සිව්සැට ආභරින් සැරසී, ඇත්, අස්, රිය, පාබල හමුදා මුසලපිරිවරාගෙන ගමන් ගන්නා රජෙකුගේ උදාරත්වය දැක්වේ. වීර රසය මවයි.
✨️ ඊරඩි වන්නම - විවිධ දක්ෂතාවලින් පරිපූර්න වූ යුධ භටයෙකු පිළිබදව මෙම වන්නමින් නිරූපණය වේ. වීර රසය මවයි.
✨️ සුරපති වන්නම - උමයංගනාව නැතිව වැළපෙන ඊශ්වර දෙවියන් පිළිබද වර්ණනා කරන වන්නමකි. අද්භූත රසය මවයි.
✨️ ගණපති වන්නම - ගණ දෙවියන්ගේ නුවණ ගැනත් ශරීර ස්වාභාවය ගැනත් පවසන වන්නමකි. අද්භූත රසය මවයි.
✨️ අසදෘශ වන්නම - බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ කියැවෙන වන්නමකි. ශාන්ත රසය මවයි.
✨️ වෛරොඩි වන්නම - වාදයක ස්වරූපයෙන් නිර්මාණය වූ වන්නමකි. අද්භූත රසය මවයි.
වන්නම් තුනක් පිළිබඳ වැඩිදුර විස්තර
1. මුසලඩි වන්නම
" මුසල්" යනු ද්‍රවිඩ භාෂාවෙන් හාවා යන අරුත් දනවයි. වන්නම රචනා වීමේ දී වැඩි වශයෙන් ද්‍රවිඩ භාෂා ආරය උපයෝගී කොටගෙන තිබෙන බව පැහැදිලි වේ. වන්නම තුළ අන්තර්ගත ආඩි, නාඩි වැනි වචන මෙන්ම සයනම්, ලන්නම්, වෙව්ලුම් වැනි වචන වල අවසන් "ම්" කාරය නිසා එම තත්ත්වය පැහැදිලි වේ. උඩරට වන්නම් 18 තුළින් තාල රූප දෙකකට ගායන කරන එකම වන්නම මුසලඩි වන්නමයි. මුල් තාල රූපය 3+4 (මැදුම් මහ දෙතිත) තාලයයි. පසුව 3+3 (මැදුම් තනි තිත) තාලයට ගමන් කරයි. මෙහි ගැයෙන කවි වල වචනාර්ථයෙන් හාවෙක් බියෙන් සැකයෙන් සැඟවී සිට එළියට පැමිණීම, නැවත කිසිවෙකු දුටුවිට බියවී සැඟවීම, තැති ගැන්වීම, වෙව්ලිම, වේගයෙන් පැන යාම, විමසිලිමත් වීම සේම සැඳෑ කාලයේ එළිමහනට පැමිණ සතුටින් සෙල්ලම් කිරීම චිත්ත රූප මැවෙන ආකාරයට ගායනය,තාල රූපය, නාද මාලාව හා වචනාර්ථයෙන් ඔප් නංවා තිබේ.
බෙරපදය
දෝං ජීං ජීං තකට දොම් තක
තානම
තානාත තනේනත්ත තානම් තම්ද
නා නාතත තනේනත්ත තානම්
තනත් තනෙන තතන තනෙන
තානෙන තම් දාන තනෙන //
තානාත තනේනාත තානම් තම්ද
නානාත තනේනාත තානම්
කවිය
වන පැත්ත බිය පත්ව සයනම් //
දුටත් යනෙන විටත් දුවන - පිටත් පොට ගසා පනිමින //
නැත නාඩි ඉඳ වාඩි වෙව්ලුම් //
නොනවත යනු නැත එතනින් //
ගිරත් අවර ගිරත් පැමිණි - කලත් වසන තැනින් දුවන //
පැන ආදී පත්‍රසි බුදිමින් //
සිරි ගත්ත සඳුපත්ව මුදුනින් //
විටත් ඔවුන තුටත් සිතින - මහත් සමගියෙන් දුව පැන //
උනු දැඩි වනවාඩි ලන්නම් //
මේ ඇත්තමයි සත්ත කියනෙම් //
ගමනක් යන විලසක් ගෙන - ඉසි දුන් දෙවි කර සතොසින //
කර දැඩි මුසලඩි වන්නම් //
කස්තිරම
රුදග ජිං තක කුංදත් තග්ගජිංතක තකට කුංදත්
රුදග ජිං ජිං රුදග ජිං ජිං රුදග ජිංතක තකට කුද කුද
තග්ග ජිංතක තකට කුංදත්
ජිං ජිං තත් ජිං දොම් දොම් //
රුදග ජිං ජිං රුදග ජිං ජිං රුදග ජිංතක තකට කුද කුද
තග්ග ජිංතක තකට කුංදත් රුදග ජිංතක තකට කුංදත්
දෝංතා.
සිරුමාරුව
තකුද තකුතක තකට කුංදත්
තග්ගජිං තක තකට කුංදත්
තකුද තකුතක තකට කුංදත් දෝංතා
අඩව්ව
තත්ත තරි තරි තතරි තරි තරි කුඩාක ජිමි ජිමි
තිතිත් තෙයි /// තතත් ජිත් ජිත් තොතොම් නම් නම්
රුදක ජිමි ජිමි තිතිත් තෙයි
අඩව්ව
තත්ත තරි තරි තතරි තරි තරි
රුඳඟ ජිමි ජිමි තිතිත් තෙයි
තතත් ජිත් ජිත් තොතොන් නං නං
රුඳඟ ජිමි ජිමි තිතිත් තෙයිතෙයි
2. හනුමා වන්නම
රාම රාවණා යුද්ධයේ දී පැහැරගෙන පැමිණි සීතාගේ ඔත්තු බැලීමට ලංකාපුරයට ආ හනුමන්තා නමැති වානරයාගේ හැසිරීම මෙයින් වර්ණනනය කරයි. නොදන්නා පරිසරයක ගිරෙන් ගිරට පනිමින් පැමිණි රාජකාරිය අකුරටම ඉටුකිරීමට උත්සාහ ගන්නා හනුමාගේ වීර ක්‍රියාන්විතය පිළිබඳ කවි ගායනාවලින් කියවේ. මේ තුළින් කරුණා හා හාස්‍ය යන රසයන් ද්විත්වයම දනවයි.
එහෙත් මීට තරමක් වෙනස් අදහසක් ඥානසිරි පීරිස් මහතා සඳහන් කරයි. ඒ මෙසේය. "හනුමා වන්නමෙහි පද රචනය ට අදාළ තේමාව බොහෝ දෙනෙක් කියන විධියට වානරයෙක් ගැන කියැවෙන ඵකක්.ඵ්කයි සාම්ප්‍රදායික පිලිගැනීම.ඊට අමතර දෙයක් ඵමගින් කියවෙනව කියලයි මම හිතන්නේ. ඵ්කෙ අන්තිමට කියැවෙන පදවල අරැත බලන්න.
මතින් උඩඟු සිත ගතින් වෑඩිව පෙර පැතුමි විලස දැරැමා
නැණ යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව පෙර මෙවන් වරැණ භනුමා.
මානයෙන් සිත උදුම්මා ගෙන තමා පිලිබදව මහත් කොට සිතන්නවුන්ගේ හැසිරීම මෙම වානරයාගේ හෑසිරීමට සමානවේ යනුවෙන් ඉසීවරැන් ගේ අදහස බව ඵහි අරුතයි.දැන් නැවතත් අලුතෙන් නැවතත් සිතන්න.මානයෙන් සිත උදුමිමා ගත් අය සීටින්නේ පොලවේ පය ගසාගෙන නොවේ. ගිර මත. එනම් පොලවට ඉභලින් ය..." මේ එතුමාගෙ අදහසයි
තිත :
සුළු තනි තිත (1 2 + 1 2 )
බෙර පදය :
කුද ගත ගත දොම්
තානම :
තානම් දනත් තම් දනත් තනම් දන
තානම් දනත් තනෙනා - තෙයි
තානම් දනත් තම් දනත් තනම් දන
තානම් දනත් තනෙනා...
කවිය :
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා
පුබු දමින් අරුණ කළ මා - ගොර
දෙමින් නැවත වට පිටින් බලති
නෙක උහුළු විහිළු පුදුමා...
එයින් නැවත පලතුරින් තුරට
පැන මලින් ඵලද දළු මා - අත
දෙමින් රැගෙන කට කොනින් බුදිති
වට පිටින් බියැති බැලුමා...
දුටින් අයෙක් සට පටින් පැනුම් රැළි
පොටින් නෙරා හෙව් මා - බය
දුටින් එවිට අතුපතින් වසා මුව
ඉතිං නැතැයි පෙනුමා...
මතින් උඩඟු සිත ගතින් වැඩිව පෙර
පැතුම් විලස දැරු මා - නැණ
යකින් මෙලෙස ඉසිමතින් යෙදුව
පෙර මෙවන් වරුණ හනුමා...
කස්තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග්ග ජිංතක තරිකිට කුංදත් //
රුංතක ජිංතක තරිකිට කුංදත් තා.
සීරු මාරුව :
තකුතක ජිජිකුද ගජිත ගජිත කුද
ගජිගත කුද කුද තා කුජිත්ත ගත
දොමිකිට තරිකිට කුංදත් තා.
අඩව්ව :
තක් තොග තක තොග
තක්කඩ තරිකිට තක තොග
තකට ජිකට තොග
ජික්කඩ තරිකිට තක තොග
තා කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා.
හෝ
තා..ම් දොමිති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත
කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා.
3. අසදෘශ වන්නම
බුදුන් වහන්සේගේ අසමසම තෙරුවන් ගුණ අලලා රචනා වූ වන්නමකි. මහනුවර යුගයේ රචනා වු අවසන් වන්නම ලෙස සැළැකෙන අසදෘශ වන්නම, වන්නම් 18 අතුරින් උසස්ම වන්නම ලෙස සැළකේ. ශාන්ත රසයෙන් අනූන වන්නමකි.
කෙසේ නමුත් මෙම වන්නම දෙස නවමු කෝනයකින් බැලූ ඥානසිරි පීරිස් මහතා මේ පිළිබඳ අලුත් විග්‍රහයක් කොට තිබේ. කෙසේ ද යත් "නිරිඳුන් සමිමත (මහා සමිමත රජු) මුල පටුන (පෙලපතේ ආරම්භය, රාඡාභිශේකය)උදෙසා සුරවර මෙලොවට බැස (දෙවියන් මෙලොවට පැමින) එම නැටුම් රගදැක්විය.එදා සිට දෙලොවෙහිම (දෙවි ලොව මනුලොව) නර්තනය ඇති විය. දෙවියන් ඒ දැක දොහොත් මුදුන් දී සාධු නාද දුන්නේය. (සදු සද ගනිමින් නැණ මතයේ --නැණ මතය--ඥාන මස්තකය-- හිස් මුදුන)මෙම රග දැක්වීම දුටු නාරද ඉසිවරයා මෙම අසදෘස වන්නම කලේය.
අසදෘස යන්නෙහි තේරැම දෘශ්‍ය යෙන් අසමාන යන්නයි.නර්තනය දෘෂය කලාවකී.එයට සමකල හැකි දෘෂය කලාවක් නැත. මෙම වනානමෙන් නර්තන කලාවේ උපත විස්තර කෙරේ." යනුවෙනි.
තිත : 4+4 මහ තනි තිත
බෙර පදය :
කුද ගත ගත දොම්
තානම : තානම් තම්දාන තනෙන තම්ද,
නානම්, තම්දාන තනෙන තම්ද,
නානම් තම්දාන තනෙන තම් දන තම්ද නා තාම්ද
නා තාම්ද නා නා
කවිය : මු නි ඳු න්, දම් සඟ සැරියුත් වැඳ,
ගනිමින්, සැම ඇති දොස හැර බිඳ,
මෙවදන්, ඉසි බස ලෙස නිවරද
පවසන්නෙම් සබ යේ ආ......
සු රි ඳු න්, විස්කර්මසම පළමු පද
සතරින් තිසුරිඳු හැට හතරද,
ගදඹුන්, වැයු දෙසිය සොළස පද,
එන මෙන් දිවපුර යේ ආ......
නි රි ඳු න්, සම්මත මුල පටුනද,
දකිමින්, සුරවර බැස මෙලොවද,
කෙරුවෙන් දෙලොවෙහි විය සදුසද
ගනිමින් නැන මත යේ ආ....
ර ඟ දු න්, සැටි වී පිරියද.
යෙදුවෙන් පිළිවෙළ ඉසිනාරද,
ස්වරයෙන් ගණනින් ඇති තාලද
වන්නම අසදෘශ යේ ආ.....
කස්තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග්ග ජිංතක තරිකිට කුංදත් //
රුංතක ජිංතක තරිකිට කුංදත් තා.
සීරු මාරුව :
තකුතක ජිජිකුද ගජිත ගජිත කුද
ගජිගත කුද කුද තා කුජිත්ත ගත
දොමිකිට තරිකිට කුංදත් තා.
අඩව්ව :
තා..ම් දොමිති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත
කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා.
No comments:
Post a Comment