වලියක් මංගල්‍යය
දේශීය ශාන්තිකර්ම පද්ධතිය දෙවියන් යකුන් ග්‍රහයන් උදෙසා පවත්වනු ලබන අතර උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වශයෙන් ශාන්තිකර්ම ගණනාවක් විවිධ අරමුණු සාක්ෂාත් කර ගනු වස් පවත්වනු ලබයි. නමුත් දීර්ඝ ඉතිහාසයක් ඇති වලියක් මංගල්‍යය රෝග නිවාරණය, සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් හෝ ගෘහාශ්‍රිත ව පැවැත්වීමක් නොවන නිසා අනෙකුත් ශාන්තිකර්මයන්ගෙන් සපුරාම වෙනස් වේ. මහනුවර දළදා මාලිගාවේ සතර දේවාලය හා සම්බන්ධ විශ්ණු දේවාලය මූලික කර ගෙන මෙම ශාන්තිකර්මය සිදු කෙරේ.
හත්දා වලියකුම, වලියක් මංගල්‍යය, වලියක් තෝත්‍රය, වලියකුන් නැටීම, වලියකුම් යාගය, වලියකුම වැනි ව්‍යවහාරිත නාම කීපයක් ඇති මෙකී ශාන්තිකර්මය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ වාර්ශිකව පවත්වනු ලබන ඇසළ මහා දළදා පෙරහැර කිසිඳු උපද්‍රවයකින් හෝ ආපදවකින් තොරව ඉදිරියටත් පවත්වා ගැනීම් සඳහා සියලුම දෙවිදේවතාවුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමයි. එසේම එකී කාර්‍යයෙහි මූලිකත්වය ගෙන එයට සහභාගී වූ දළදා මාලිගාවේ ඇතුල් කට්ටලයේ හා පිට කට්ටලයේ සියලුම නිලමෙවරුන් සහ අනෙකුත් නිළධාරීන්ටත්, පෙරහැරෙහි නර්තන දැක්වීමෙන් සහ එහි අනෙකුත් අංගයන්ට සහභාගී වීමෙන් සහ දායක වීමෙන් අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාටත්, පෙරහැරට සහභාගී වූ අලි ඇතුන්ට හා ඔවුන් සපයා දීමෙන් දායක වූ සියලුම දෙනාටත් සෙත් ශාන්ති කිරීමත් ඔවුන් කෙරෙහි පැමිණිය හැක්කා වූ ඇස්වහ, කටවහ, හෝවහ ආදී කොට ඇති සියලුම දෝශයන් මඟ හරවා ගැනීමටත් සියලුම දෙවිදේවතවුන් වහන්සේලා ගේ පිහිටාධාර ලබා ගැනීමත් ය.
මහනුවර දළදා පෙරහැර සම්පූර්ණයෙන් ම නිම වීම සඳහා අවසන් රන්දෝලි පෙරහැරට පසුව පුරා දින සතක් මෙම වලියක් මංගල්‍යය පැවැත්විය යුතුය. එහිදී වාර්ශිකව එක් වරක් පමණක් (ඇසළ මාසයේදී) පවත්වන ශාන්තිකර්මයක් ලෙස සැළකිය හැකිය. වර්තමානයේ පෙරහැර සම්බන්ධයෙන් පැවැත්වෙන චාරිත්‍ර අනුව හත්දා වලියකුමෙන් පසු දළදා පෙරහැර චාරිත්‍ර අවසන් වුව ද, අතීතයේ තී නැවත දින හතක් "දිග්ගේ" නමින් වූ නැටුමක් රඟ දක්වා තිබේ. "පලි" නමින් හඳුන්වන කුලයක කන්‍යා ස්ත්‍රීන් විසින් විශ්ණු දේවාලයේ, උඩුකය නග්නව, යටිකයට දුහුල් සළුවක් පමණක් ඇඳ මෙම නර්තනයේ යෙදී ඇත. දිග්ගේ නැටුම දෙවියන් පිනවීමට නැතිනම් දෙවියන්ට පූජා පිණිස කරන ලද්දකි. දිග්ගේ නැටුම අවසානයේ දී "බත් බලි දීම" නමැති චාරිත්‍රයක් පැවැත්වූ බවත්, දේවාලය තුල කිසිවෙකුට දර්ශනය නොවන පරිදි එහි බිත්තියේ වූ සිදුරකින් කැකුළු සහලින් කල බත් ගොටු පිටතට දුන් බවත්, බත් ගොටු ලබා ගැනීමට හෝ ඒවා භුක්ති විඳීමට අවසර ඇත්තේ දේවාලයේ ඉඩම් භුක්ති විඳිනු ලබන අය පමණක් බවත් සඳහන් වේ.බලිබත් දීමෙන් පසු රාජකාරී ඉඩම් ලබා ඇති පංසලක භික්ෂූන් වහන්සේ නමක් විසින් පුරා සත් දිනක් වරු පිරිතක් සජ්ජායනය කලයුතුය.විශ්ණු දේවාලය සම්බන්ධයෙන් පෙරහැර චාරිත්‍ර අවසන් වන්නේ මෙයින් පසුවය.
මෙහි ප්‍රධාන නිළධාරි කණ්ඩායම වන්නේ දියවඩන නිළමේ (නාමිකව), බස්නායක නිළමේ, වන්නකුරාළ යන නිළධාරි කණ්ඩායත් ශාන්තිකර්මය සඳහා සහභාගී වන බෙර පංගුව, යක්දෙහි පංගුව(නර්තනයේ යෙදෙන අය), ගරා යක් පංගුව හා ආලත්ති පංගුවයි.(ආවඩන කන්‍යා ස්ත්‍රීන් තිදෙනා). කංකාරවල නටන කිසිඳු නර්තන හෝ වාදන ශිල්පියෙකුට වලියකුම සඳහා සහභාගී විය නොහැක. සහභාගී විය හැක්කේ ඒ සඳහාම නිල පංගු උරුමය ඇති පුද්ගලයන්ට පමණි.
වලි යකුමේ උත්පත්ති කතාව
වලියක් තුන් කට්ටුව පිළිබඳව දක්නට ඇති පුරාවෘත්තය භාරතීය සබඳතාවයන්ගෙන් යුක්ත වේ. විශ්ණු දෙවියන්ට දාව සීතා බිසවට දරුවන් තිදෙනකු විය.(විශ්ණු සහ රාම යනු එක් අයෙකු බවත් කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ මල රජ තුන් කට්ටුව ලෙස හඳුන්වන්නේ මෙම දරු තිදෙනා බවත් අංකෙළි උපත සාහිත්‍යය යේ සඳහන් වේ) මෙම දරුවන් තිදෙනා අකුරට ගොස් එන කල්හි වනය මැද දී අපූරු සිදුවීමක් දුටුවේය. එනම්, අඹ කැඩීමට කැළයට ගොස් සිටි පත්තිනයගේ හා පාළඟ ගේ කෙකි දෙක එකට පැටළී තිබූ ආකාරය යි.කෙක්ක මුදා ගැනීමට දෙදෙනා වෙරදැරූ අතර පත්තිනියට පාළඟ උසුළු විසුළු කරමින් සිටියේ ය. තමාගේ කෙක්ක ගලවා දෙන ලෙස මෙම කුමාරවරුන්ගෙන් පත්තිනිය ඉල්ලා සිටියාය. මෙම කුමාරවරුන් එකවරම එකවලියටම කෙක්ක ඇද පැටලුම මුදා ගත්තේය.මින් පාළඟගේ කෙක්ක පවා කැඩී ගියහ. එක වලියටම කෙක්ක ඇද දුන් හෙයින් වලියට යක්කු යැයි කී පත්තිනිය ඔවුන්ට වරම් දුන්නාය.
වරෙන් කියා අඬගහ ඉක්බිත්තේ
අදින්ට ලණුබක් බදිමු කැමැත්තේ
ඇවිදින් අගමුල වැඩ සිට ගත්තේ
වලියක් දෙවි නම එදයි පැවැත්තේ
මෙම වලියක් උපතට අමතරව වෙනස් ආකාරයේ වලියක් උපතක් වලියක් යාතිකාවේ දැක්වේ. එනම් විශ්ණු දෙවියන්ගේ අංකෙලියට වැඩමකරවා ඉන් ජයග්‍රහණය කළ හෙයින් වලියකුන් යැයි විරුදාවලිය ලැබූ බවයි
වලියකුන්ගේ වාහනය ඇතෙකු බව කෝල්මුර කවි ගායනාවලින් ප්‍රකාශ වන අතර කංකාරි අවස්ථාවේ දී දේවාභරණ මත තබා ඇති හෙණ්ඩුව වලියකුන් සඳහා වෙන් වන බව යක් දෙස්සන්ගේ අදහසයි.
ඇතා පිටින් වඩිනවා පෙනෙන්නා
දෑලේ පන්දම් එලිය පෙනෙන්නා
හෙණ්ඩු දෙකක් දෑතේ දිලිසෙන්නා
වලියක් දෙවි වඩිනවා පෙනෙන්නා
වලියකුමේ සත් දින පූජා චාරිත්‍ර පිළිවෙළ
වලියක් මංගල්‍යයේ ප්‍රථම දිනය පේ කරන දිනය නම් වේ. මෙහිදී මඩු පේ කිරීම, තොට පේ කිරීම, මල පේ කිරීම, යක් ගේ පේ කිරීම, බලි පේ කිරීම, හඟල පේ කිරීම, යහන පේ කිරීම, අයිලෙ පේ කිරීම, දුනු පේ කිරීම, අතෝරකරුවන් පේ කිරීම, යක්දෙස්සන් පේ වීම සිදු වේ.
මඩුව පිළියෙළ කිරීම හා සූදානම් වීම
රංගභූමිය මධ්‍යයේ සොළොස් මඟල නම් සැරසිල්ලකි. දේවාලයේ ප්‍රධාන දොරටුවත් සොළොස් මඟලත් අතර දකුණු පස ආලත්ති අම්මාවරු දෙදෙනෙකු වාඩි වී සිටී. දොරටුව අභියස ඇති පිල් කලේ කෙසෙල් කොළයක් මත සුදු සහලෙන් පිසින ලද බත් කොට තුනකි. දෙපස දල්වන ලද මැටි පහන් දෙකකි. මේවා වලියකුන් සදහා වෙන් වේ. ආලත්ති අම්මාවරුන්ට වම්පසින් සිවිලි වළං නමින් හඳුන්වන කුඩා මුට්ටි දොළසකි. ඒ මත නීල වර්ණ රෙදි කඩක් අතුරා තිබේ.එහි බුලත් කොළ කීපයක්, වර්ණවත් මල්, සුවඳ පෙති, පඬුරු ආදිය තිබේ.රඟමඩලේ වහලේ සුදු වියන් බැඳ ඇති තර එහි හරි මැද පොල් මලකින් හා ගොක් කොළවලින් කරන ලද සැරසිල්ලකි. එය මුව මල/ගවර මල වේ.
ප්‍රථම දින පූජා විධි රටාව
බෙරකරුවන් හා යක්දෙස්සන් දෙදෙනෙකු විශ්ණු දේවාලයට නමස්කාර කිරීමෙන් අනතුරුව මඟුල් බෙර වාදනය ආරම්භ කරයි.මෙහිදී දේව පදය හා පිරීමේ පදය පමණක් වාදනය කරයි. ඉන් පසු කවි ගායනය ආරම්භ වේ. පිරිත් හුයේ කවි, සොළොස් මඟලෙ කවි මෙහිදී ගයන අතර වමතට වජ්‍රා මිණිය හෙවත් අත් මිණියද, දකුණතට නව කොළ අත්තක් ද රැගෙන කවි ගායනා කරයි. අවසන මින් සෙත් ශාන්ති කරයි.කවි ගායනෙයෙන් අනතුරුව පඬුරු ලෑම නම් අවස්ථාව උදා වේ. මෙහිදී යක්දෙස්සන් දෙදෙනා දේවාලයේ දොරටුව අභියස දෑත් බිම ඔබා නමස්කාර කර සිටී. නරඹන්නන් පිටුපසින් පැමිණ ඔහුගේ ජටා පටියෙහි, ඒකා වැලෙහි තමන් සූදානම් කරගෙන පැමිණි පඬුරු ගැට ගසති. පඬුරු ලෑම අවසන හේවිසි වාදනය සිදු කරන අතර වන්නකුරාළ විසින් නැවත වරක් දේවාභරණ දේවාලය වෙත වැඩමවනු ලැබේ. ප්‍රධාන යක්දෙස්සා යාතිකාවක් කියන අතර සෑම පදයක් අවසානයේ ම ආලත්ති අම්මාවරු "ආයුබෝවා" කියා ආශිර්වාද කරයි.
දෙවන දින පූජා විධි රටාව
දෙවන දින චාරිත්‍ර රාත්‍රි 7.00ට පමණ ආරම්භ කරන අතර මඩුව පිළියෙළ කිරීම, සූදානම් වීම ආදිය සිදු වේ. අනතුරුව දේවපදය හා මඟුල් බෙර වට්ටම් වාදනය කරයි. අනතුරුව මල නැටීම ආරම්භ කෙරේ. මෙහිදී පේ කරන ලද පොල් ගස්වලින් කපා ගත් පොල් මල් පූජා භාණ්ඩය ලෙස යොදා ගනී. පේ කරන ලද පොල්මල්වලට සුවඳ දුම් අල්ලා මඩුපුරයේ කවි ගායනා කරමින් නර්තනය අරඹයි. මෙහිදී "තකුක්කු ජිං කඩතක" බෙර පදයට අනුව කවි ගයමින් නර්තනය කරයි. අනතුරුව විවිධ නාදමාලා අනුව කවි ගායනා කරමින් මල නැටීම සිදු කරයි. මෙහිදී පත්තිනිය හා වීරමුණ්ඩ දෙවියන් වන්දනට පාත්‍ර වේ.
කාගේ මේ විත්තිය - වීරමුණ්ඩ දෙවියන්ගේ කීර්තිය
හළඹ හඳ නැවැත්විය - වල්ල මල මෙතැනට අයිතිය
කොමළ අතින් තම තනය කඩාගෙන
දෙමළ මෝඩ පඬි පුර ගිනි ලාගෙන
එමල කදේ ගිය පණ ගෙන්වාගෙන
මෙවැනි කව්ද පතිනිය මිස වෙන නැත
මල නැටීමේ දී විවිධ වූ නාදමාලා අනුව මඩුපුරයේ කවිද ගායනා කෙරේ. අවසානයේ මල හිසේ ගස්සගෙන වස් දොස් නිවාරණය කරයි. මෙහිදී වලියක් දෙවියන්, කොහොඹා දෙවියන්, ඉරුගල් බණ්ඩාර දෙවියන්, වැදි යක්තුන් දොළොස සිහිපත් කොට වරම් ලබා ගනී. අවසානයේ පඬුරු ලෑමේ චාරිත්‍රය සිදු කරයි. අනතුරුව සංඛනාද හේවිසි මධ්‍යයේ වන්නකුරාළ විසින් දේවාභරණ දේවාලයට වැඩමවනු ලබයි.
තුන්වන දින පූජා විධි රටාව
මඩුව පිළියෙළ කිරීම හා සූදානම් වීමේ චාරිත්‍ර කිරීමෙන් අනතුරුව මඟුල් බෙර පළමු වට්ටම සම්පූර්ණයෙන් වාදනය කරයි. ඉන් අනතුරුව යක් දෙස්සන් දෙදෙනෙකු විසින් යක් ඇනුම පුරයි. වලියක් මංගල්‍යයට අදාළ යකුන්ට, දෙවියන්ට රඟ මඬල වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන නැටුමක් ලෙස යක් ඇනුම නටනු ලැබේ. යක් යනු දෙවියන් යන්නයි. ඇනවුම යනු ආරාධනය යන්නයි.පේ වුනු යක්දෙස්සන් දෙදෙනා විසින් එක්ව යහනට නමස්කාර කරයි. වමතට පොල් පන්දමක් ද දකුණට ඊගස ද රැගෙන යක්කැනුම නටනු ලැබේ. යක් ඇනුමේ එක් එක් කොටස අවසන දේවාලය ඉදිරියේ වැඳ වැටෙන් යක් දෙස්සෝ "අවසර පස්වාන් දහසකට කල්පාන්තරයකට ඉර හඳ පවතිනා තේකට" යයි පවසයි. එවිට ආලත්ති අම්මාවරු "ආයුබෝවා" යැයි තුන් වරක් ප්‍රකාශ කරයි. මෙම අවස්ථාවේ යක් ඇනුම සම්පූර්ණයෙන් නටනු නොලැබේ.
අනතුරුව අයිලෙ යැදීම නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. වලියක් මංගල්‍යයේ දී පුද ලබම සෑම දේව යක්ෂ කොට්ඨාසයකටම යහනට වඩිනා ලෙස ආරාධනා කෙරේ. අනතුරුව ඵලවැල දානය නම් පෙළපාලිය ඉදිරිපත් කරයි. මෙහිදී සීතා දේවිය හා සම්බන්ධ කතා පුවතත් කවියෙන් ඉදිරිපත් කෙරේ. අනතුරුව ඇසළ පෙරහැර පැවැත්වීමට දායක වූ නිලමෙවරු, ඇතුලු කට්ටලේ හා පිට කට්ටලේ සියලුම පංතිවල ජනයාට ඇති වූ වස් දොස් වේ නම් එම වස්දොස් දුරලීම පිණිස වලියක් මංගල්‍යය පවත්වන බවට යාතිකාවෙම ප්‍රකාශ කරයි. ඉන් පසු පඬුරු ලෑම, දේවාභරණ ආපසු වැඩමවීම ආදී චාරිත්‍ර ඉටු කරයි.
හතරවන දින පූජා විධි රටාව
පෙර මෙන් පූජා චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු රාත්‍රි 8.30ට වලියකුම ඇරඹේ. අනතුරුව මඟුල් බෙර වයා අයිලය යැදීම, දේවාරාධනාව, යකැනුම,, මල රජ උපත් කතාව, ඵල වැල දානය ඉදිරිපත් කෙරේ. අවසානයේ සෙත් කවි කියා ආශිර්වාද කරයි.
කියා කවි සන්ධිය - නොකියා දොළොස් සන්ධිය
ඇරගෙන ගඟෙන් දිය - කරති දෙවියෝ සුභ සාන්තිය
අනතුරුව පඬුරු ලෑමෙන් පසු ආභරණ දේවාලයට වඩම්මවයි.
පස්වන දින පූජා විධි රටාව
ආරම්භක චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මඟුල් බෙර වයා, අයිලය යැදීම, හඟල යැදීම, යක් ඇනුම, දේවාරාධනාව, මලරජ උපත් කවි, ඵලවැල දානය යන පෙළපාලි ඉදිරිපත් කරන අතර පස්වන දිනයේදී ආවැන්දුම හා වැදි දානය ඉදිරිපත් කරයි. මෙහිදී වැද්දන් පූජාවට පාත්‍ර වේ. අවසානයේ දේවාභරණ දේවාලයට වඩමවා අවසන් කරයි.
හයවන දින පූජා චාරිත්‍ර
වලියකුන් යාගයේ උත්කර්ෂවත් දිනය හය වන දිනයයි. මෙදින මහයකුම නමින්ද හඳුන්වයි. විශාල ශිල්පීන් සංඛ්‍යාවක් සම්බන්ධ වීමත් වෙස් ඇඳි නළුවන්ට අමතරව තනි කච්චියෙන් සැරසුණු නළුවන් දෙදෙනෙකු සම්බන්ධ වීමත් මෙහි විශේෂ වේ. 6වන දින දී මඟුල් බෙර සම්පූර්ණයෙන් වයන අතර අත්‍යා බෙර වාදනය ද සිදු කෙරේ. අනතුරුව අයිලය යැදීම හා දේවාරාධනාව සිදු කරයි. මෙහිදී කිත්සිරි, සඳලිඳු,මලනිඳු යන මල රජ තුන් කට්ටුවටද කුඩා ගුරු මහා ගුරු , කොටවැදි රාජෝත්තමයාණන්, වැදි තුන් දොළොස, වෘක්ෂ දේවතාවුන් පුද ලබයි. හය වන දිනයේ දී දර්ශන යක්කම නයා යක්කම වැදි යක්කම, කීල බැඳීම, සිවිලිය වැඩමවීම, යක් ඇනුම, අස්නෙ නර්තනය කෙරේ. අනතුරුව යක්තුන් පදය ඉදිරිපත් කරයි. ඉන්පසු පස්පද පෙළපාලිය නටනු ලැබේ. මෙහිදී කොතල පදය, දුම්මල පදය, බුලත් පදය, පොල් පදය, සළු පදය නටනු ලැබේ. අනතුරුව සිවිලිය නම් දේව ආභරණය වඩමවනු ලැබේ. සිවිලිය සිවිලි වළං මත තබා දණ නමා ආශිර්වාද කරයි. අනතුරුව කෝල්පාඩුව නටනු ලැබේ.ඉන්පසු කෝල්මුර කවි ගයමින් නටා වැදි යක්කම ඉදිරිපත් කරයි. ඉන්පසු කෝල්මුර කවි ගයමින් නටා වැදියක්කම ඉදිරිපත් කරයි. ඉන්පසු ඵලවැල දානය, ආවැන්දුම, නයා යක්කම ඉදිරිපත් කෙරේ. නයායක්කම අවසන පඬුරු රැස් කරයි. ඉන්පසු මහ යක්කම ඉදිරිපත් කරයි. අලුයම 4ට පමණ කීල බැඳීම හෙවත් පන්දම් නැටුම ඉදිරිපත් කරයි. අනතුරුව ගුරුගේ මාලාව අරඹයි. මෙය හාස්‍යමය රසයෙන් යුත් නාට්‍යමය පෙළපාලියකි. අනතුරුව කඩවර දෙවියන්ට කවි ගායනා කරයි.
අවසන් දින පූජා විධි රටාව
වලියකුමේ අවසන් දින දළදා මාලිගාවේ පෙරහැර ආරම්භ කරන වේලාවට චාරිත්‍ර ආරම්භ කරයි. එදින මඩුව පිළියෙළ කිරීම හා සූදානම් වීම සිදු කොට මඟුල් බෙර වයා යක් ඇනුම හා කොහොඹා හෑල්ල නර්තනය කරයි. අවසන් දින සුවිශේෂී චාරිත්‍රයක් ලෙස "කාලි යාම"නම් චාරිත්‍රය ඉටු කරයි. මෙහිදී නෛඅඩි ඇඳුම් කට්ටලයෙන් සැරසී නළුවන් දෙදෙනෙක් මොට්ටැක්කිලියක් හෝ වහන්තරාවක් පැළඳ දේවාලය ඉදිරියට පැමිණ ප්‍රධාන දොරටුව අභියස සිට දේවාලයට හා දේවාභරණවලට නමස්කාර කරයි. මෙසේ තෙවරක් ආචාර කරන අතර ඒ සෑම අවස්ථාවකම යක්දෙස්සන් හා ආලත්ති අම්මාවරු පස්වාන් දහසකට කල්පාන්තරයකට ඉර හඳ පවතිනා තේකට ආයුබෝවේවා කියා ආවඩති. අතීතයේ මෙම නමස්කාර කරන සෑම අවස්ථාවක දීම ඇහැළ කණුව අසළ සිට (ඇහැළ ගේ) වන්නකුරාළ විසින් බත් ගුලි දෙකක් දිය යුතුය. මෙම යක් දෙස්සන් සමඟ බෙරවාදකයා ද විශ්ණු දේවාලය වටා ගමන්කරයි.
ආයු බොහෝවේවා.බොහෝම වැදගත්
ReplyDelete