සබරගමු නර්තන සම්ප්‍රදාය යනුවෙන් හැදින්වෙන්නේ එ නමින්ම ව්‍යවහාරිත ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්තව පවත්නා එම ප්‍රදේශයටම ආවේණික වූ නර්තන කලා සම්ප්‍රදායයි. (ඇතැම් තැන්හිදී සපරගමු නර්තන සම්ප්‍රදාය ලෙසද භාවිත වේ.)ලාංකික ජන නාට්‍ය සම්ප්‍රදාය හා සබරගමු නාට්‍ය සම්ප්‍රදාය යනු දෙකක් නොව එකකි. එ බැවින් සබරගමු නැටුම් කලාවේ ඓතිහාසික පසුබිම සෙවීමේ දී රාවණා අධිරාජ්‍යයා තෙක්වූ දිගු යටගියාවකට යා යුතු වේ.
සිව් හෙළය පාලනය කල රාවණ රජු අපේ වංශ කථා ඉතිහාසයට එක් වී ඇත්තේ ප්‍රබල රණශූරයෙකු වශයෙන් ම නොව, නාට්‍යකරණයේ අති දක්ෂ නැටුම් ශිල්පියෙකු ලෙසිනි.රාවණයන්ගේ ගිරි රාජධානි හතකින් යුත් ලංකා රාජ්‍යයේ ඉන්ද්‍රගිරිය හා චන්ද්‍රගිරිය සබරගමුවට අයත් වේ.සාහිත්‍යයට අනුව රාවණ රාජදේවිය සබරගමු දෙවගනකි. ඇයගේ වැඩිවියට පත්වීමේ දෝශයක් දුරුකර ගැනීමට කරන ලද සමයම් තෝත්‍රයක් පිළිබඳ පුවත සබරගමු නැටුමට ඉතා වැදගත් එකකි.
සබරගමු නර්තනයටද මූලය වී ඇත්තේ යකුන් සහ දෙවියන් විශයෙහි පැවැත්වෙන ශාන්තිකර්මයන්ය. ප්‍රධාන ශාන්තිකර්මය පහන් මඩුවයි. සමස්ත වශයෙන් ගත් කල ප්‍රධාන නැටුම් මාත්‍රා 5ක් ඊට පදනම් වී ඇති බව පෙනේ.
1. මුල් මාත්‍රය හෝ ගමන් මාත්‍රය
2. සින්දු මාත්‍රය
3. පට්ටුතල් මාත්‍රය
4. යක් පද මාත්‍රය
5. යාදිනි මාත්‍රය යි.
ඇතැම් විට මෙම මාත්‍රා 5 වෙනුවට වෙනත් සංඥානාම ද ව්‍යවහාරයේ පවතී.
අද වන විට මෙම නර්තන කලාව සබරගමු ප්‍රදේශයට පමණක් සීමා වී තිබුණ ද ලංකාවේ පැරණිතම සිංහල නර්තන කලා ශිල්පය සබරගමු නර්තන කලාව බව විද්වත් මතයයි.කෙම්මුර යාගය, යකුන් පිදීම, කඩවර සමයම වැනි දැනට ඉතා දුර්ලභ ලෙස ශේෂව පවතින අති පැරණි පිදවිලි ක්‍රම හා ඊට අනුගත වූ නර්තනාංග සහිත පුරාවෘත්තීන් ගැන සලකා බලන විට ද, ඉන්පසු විකාශනයට පත් වී ඇති කුමාර සමයම, ගොපලු සමයම, තුන්සමයම, දැරහැව, හූනියම් මඩුව, මහසෝන්සමයම හා දහඅට සන්නි වැනි සමයම් පිළිබඳ වූ පුරාවෘත්ත හා අංග ශෛලීන් ගැනද සලකා බලන විට ලාංකික සිව් හෙළයන්ට පමණක් සීමා වූ පිදැවිලි හා සමයම් ස්තෝත්‍ර ක්‍රම සම්බන්ධ ගායන හා නැටුම් අංග සබරගමු නර්තන (ඉතිහාසයේ) ප්‍රභවයේ හා විකාශනයේ මග සලකුණු ලෙස පිළිගත හැකිය.
යුගයෙන් යුගය විවිධ සංස්කෘතික නැටුම්වලට ලක් වූ අපේ හෙළ නැටුම් කලාව සබරගමු, උඩරට, පහතරට, වශයෙන් සම්ප්‍රදායන් ත්‍රිත්වයකට බෙදී තිබුණ ද, මේ සියල්ලක්ම එක ම සිංහල නැටුම් කලාවේ අංගෝපාංගයන් ලෙස සැලකුවමනාය.අත්පා හැසිරවීම පිළිබඳ වෙනස්කම්, ගායනා කරන නාදමාලා පිළිබඳ වෙනස්කම්, වාද්‍ය භාණ්ඩ හා වාදන ක්‍රම පිළිබඳ වෙනස්කම්, ශාස්ත්‍රීය හා ජන ශ්‍රැති ආශ්‍රිත වෙනස්කම් ආදිය ප්‍රායෝගික වශයෙන් පවතින බාහිර ලක්ෂණ හා සංගත වූ මූලික විවිධත්වයන් වශයෙන් සැලකිය යුතු අතර, ශාස්ත්‍රීය වෙනස්කම් වශයෙන් පවතින සිද්ධාන්ත මූලධර්ම න්‍යායාංග, රීති අනුරීති භින්න රීති වැනි ශාස්ත්‍රීය කරුණු මත පවතින වෙනස්කම් ද දැකිය හැකිය .
නැටුම් ශිල්පය හදාරන ආධුනිකයාගේ යෝග්‍යතා සරඹ, නම්‍යතා සරඹ වශයෙන් සැලකෙයි. මෙයින් පසු ශිෂ්‍යයා යොමු කෙරෙන්නේ නැටුමට අවශ්‍ය හරඹ පදවලට ය. ඒවා දණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, මණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, දොඹින පද වශයෙන් තවත් දොළසකුත් යනුවෙන් හරඹ පද 36ක් සබරගමු සම්ප්‍රදායට ආවේනිකව පවතී.
සමස්ත සබරගමු නාද මාලාව ඡන්දස් රීත අනුව ම ක්‍රියාත්මක වන්නකි. එ අනුව සියලු ම නාදමාලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කොට දක්වයි.එම නාද මාලා තුළ සිව්පද විරිත, විලම්බු විරිත හා සිංහ විරිත වශයෙන් සබරගමු ගුරුකුලවල භාවිතයේ පවතී.සබරගමු බලි ශාන්තිකර්මයට මෙය විශේෂිතය.මෙම විරිත් තුනට අයත් නොවන වැදි ගීත, කමත් ගී සහ ජන ක්‍රීඩා සම්බන්ධ ගීත ද සබරගමු ජනසංගීතය තුල දක්නට ලැබේ.
සබරගමු සම්ප්‍රදායට ආවේණික වර්තමාන වාද්‍ය භාණ්ඩය දවුලයි.අතීතයේ පටාව නම් භාණ්ඩයක් භාවිත කල බව සදහන් වෙතත් දැනට දක්නට නොලැබේ .එහෙත් සබරගමු දවුල සෙසු දවුල්වලට වඩා විශාලත්වයෙන් යුතුය.
ජායාරූප
· ප්‍රධාන වාද්‍ය භාණ්ඩය, දවුල
· සබරගමු නර්තන ශිල්පීන්
No comments:
Post a Comment