Thursday, June 11, 2020

කොටස් අංක 14 - ශ්‍රී ලාංකීය නර්තනය හා සංගීතය අතර ඇති සම්බන්ධතාවය




ශ්‍රී ලාංකීය නර්තනය හා සංගීතය අතර ඇති සම්බන්ධතාවය
      
          නර්තනය වූ කලී කායික සංචලනයන් මඟින් අදහස් ප්‍රකාශනයයි. එහි ක්‍රියාවලියට උත්තේජනය සපයනුයේ සංගීතයයි. නර්තනය නම් වූ කායික සංචලනය හරහා සෞන්දර්යාත්මක හා ප්‍රාසංගික ලෙස භාව ප්‍රකාශනය උදෙසා සංගීත රිද්මය අත්‍යවශ්‍ය වේ. නර්තනය හා සංගීතය යන මෙකී සෞන්දර්ය කලාවන් සඳහා එකිනෙකට හිමි වී ඇති අනන්‍යතා ලක්ෂණ තිබේ. එම අනන්‍යතාවන් මුලික කර ගෙන එක් වූ කල නර්තන කලාවේ ජීවය රඳවා පවත්වා ගැනීමට සංගීත රිද්මයන් අත්‍යවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ වේ. නර්තනයේ මාධ්‍ය චලනයයි. රිද්මයානුකූලව හසුරුවනු ලබන කායික සංචලනයන් ගේ භාවමය හැඟීම් ප්‍රකාශනය නර්තනයේ දී සිදු වේ. සංගීතයේ මාධ්‍ය ශබ්ද හා නාද වේ. රිද්මයානුකූලව හසුරුවනු ලබන ශබ්ද හා නාද මඟින් හැඟීම් ප්‍රකාශනය සංගීතයේ දී සිදු වේ. මෙම කලාවන් දෙකම රිද්මය ආත්මය කොට ගෙන ඇත. නර්තකයා අංග, ප්‍රත්‍යාංග, උපාංග රිද්මයානුකූලව චලනය කරනු ලබන අතර සංගීතවේදියා ශබ්ද හා නාද රිද්මයානුකූලව හසුරුවනු ලැබේ.

           ලොව නර්තනය පහල වූ දා පටන් සංගීතය තදානුබද්ධව පවතී. ප්‍රාථමික යුගයේ දී නර්තනය සේම සංගීතය ද විවිධ ප්‍රාථමික ක්‍රමෝපායන් හරහා නිර්මාණය වී තිබිණ. ස්වකීය ප්‍රාථමික නර්තනයට අවශ්‍ය සංගීතය ඔවුන් උගුරෙන් විවිධ ශබ්ද නිකුත් කිරීම මඟින්, කකුලෙහි කලවයට අත් බාහුවට හා ශරීරයේ විවිධ ස්ථානවලට තැලීම මඟින්, තොල්පට පෙරළීම, මුඛයට ඇඟිල්ල තබා ශබ්ද කිරීම, කම්මුල්වලට තට්ටු කිරීම ආදී ක්‍රම ඔස්සේ සංගීත රිද්මයන් එක් කළහ. අප්‍රිකානු කොංගෝ වැනි නර්තන තුල වර්තමානයේ දී ද මෙම තත්වයක් දැක ගත හැකිය. සෙල්ග්මාන් මහතා විසින් රචිත " ද වැද්දාස් " කෘතියේ දඩයම පිළිස්සෙන තෙක් වැද්දන් ඒ වටා නැටූ බවත් වැද්දියන් තම උදරයට තලා ගනිමින් විවිධ ශබ්ද නිකුත් කළ බවත් ඔහු සඳහන් කරයි.

        ඉන් පසු කාලයේ දී කෝටු කැබලි, සත්ව අස්ථි, ගල් පතුරු, දැව දඬු එකට ගැසීමට සලස්වා ශබ්ද උපදවා ගත් අතර එය සංගීතමය වශයෙන් නර්තනයට යොදා ගෙන තිබේ. එසේම බොල් ලී කුහරයන්ට ලී කැබලි මඟින් තට්ටු කිරීමෙන් නිකුත් වන ශබ්ද නර්තනයේ දී සංගීතය ලෙස ප්‍රාථමික යුගයේ දී යොදා ගත්හ.

        ඉන් පසු මෙම තත්වයේ යම්  දියුණුවක් ලෙස එම බොල් ලී කුහරයන්ට සත්ව සම් බැඳ බෙර වර්ග නිර්මාණයටත් එය නර්තනයට යොදා ගැනීමටත් ඔවුන් පෙළඹුනි. ඊට අමතරව රයිනෝසිරස් අං, ගෝන අං, හරක් අං ආදියෙන් විවිධ නලා වර්ග සාදා ඒවා ද ප්‍රාථමික සමාජයේ නර්තනය උදෙසා භාවිතයට ගත්හ.

          මීට අමතරව කටහඬ ආදාරයෙන් රිද්මයානුකූලව කරනු ලබන විවිධ ආලාප ආදිය ද ප්‍රාථමික මානවයා සංගීතය ලෙස ඇසුරු කර ගනු ලැබීය. මෙයින් පෙනී යන්නේ නර්තනය ආරම්භ වූ ප්‍රාථමික යුගයේ දී ම ඊට සමගාමීව සංගීතය ද උත්පාදනය වී ඇති බවයි.




දේශීය නර්තනයේ සංගීතය භාවිතය

            ලෝකයේ අනෙකුත් නර්තන සම්ප්‍රදායන් හා බැඳි සුවිශේෂී සංගීත සම්ප්‍රදායන් දක්නට ලැබුණ ද දේශීය නර්තනය හා බැඳි මහා සංගීත සම්ප්‍රදායක් දක්නට නොලැබේ. දේශීය නර්තනය ජන සංගීත  මූලාශ්‍රයන්ගෙන් පෝෂණය ලබා ඇති අතර සංගීත කලාව හා බැඳි ගායන හා වාදන පද්ධතියකින් පෝෂණය වී තිබේ.

             දේශීය නර්තන හා බැඳි සංගීතය  පිළිබඳ සාකච්ඡාවේ දී ගායනය ප්‍රමුඛ වේ. උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් ත්‍රයෙහි නර්තනය හා බැඳි සුවිශේෂී ගායන පද්ධතියක් හඳුනා ගත හැකිය. මෙම ගායන ඒ ඒ නර්තනයන්ගේ ප්‍රස්තුතයන්ට යෝග්‍ය වන ලෙස රචනා වී තිබීම සුවිශේෂී වේ. කුවේණි අස්නේ කවි, මරා ඉපැද්දීමේ කවි, දරු නැලවිල්ලේ කවි, නානුමුරයේ කවි, යකුන්ට කියන කවි මීට උදාහරණ වේ. එදා විජට රජු විසින් කුවේණියව පළවා හැරීමෙන් පසු ඇය හඬමින් වැළපෙමින් වීදි පුරා සැරි සැරූ අයුරු විවිධ නාද මාලාවලින් කුවේණි අස්නෙහි ඉදිරිපත් කර තිබේ.
 උදා:- අපගෙ මුණි රජාණන් 
           විශාලා නුවර ගොස්........

       රට යැකුම ශාන්තිකර්මයේ රිද්දි බිසව දරුවා සුරතල් කරන අයුරු නැළවිලි ගී ස්වරූපයෙන් කවි ගායනා සහිතව ඉදිරිපත් කරයි.
          අත්තක පිපි මලක්       ලෙසේ
          පෙත්තක ඇඳි ඉරක්    ලෙසේ 

        එමෙන්ම දේශීය නර්තනයේ භාවිත සංගීතයෙහි විවිධ නාද මාලාවන් භාවිත කරන අයුරු දක්නට වේ.වන්නම්, සව්දම්, තාලම්, කවිත්තම්, සුරල්, ශාන්තිකර්ම කවි, ශ්ලෝක, අෂ්ඨක මෙසේ විවිධ නාදමාලා අනුව ගායනා කෙරේ. සබරගමු සම්ප්‍රදායේ නව තාලයේ ග්‍රහපංති, පිරිත් හුයේ කවි, සත් සතියේ කවි, විශාලා ශාන්තියේ කවි මේ ආකාරයට විවිධ වූ නාද මාලාවන් අනුව ගායනය කරනු ලබයි. ප්‍රශස්ති, සව්දම් ආදිය ද අවස්ථානුකූල ව ඒවාට හිමි සාම්ප්‍රදායික නාද මාලාවන්ගෙන් ගායනා කෙරේ. 

          දේශීය නර්තනය හා බැඳි ගායන ආඝාතාත්මක හා අනාඝාතාත්මක වශයෙන් වර්ග කර දැක්විය හැකි අතර මෙම ගායන දේශීය නර්තනයේ විවිධ අවස්ථාවල භාවිත වේ. පිරිත් හුයේ කවි, ආශිර්වාද කවි, අයිලය යැදීම්, මහා යාතිකාව, අනාඝාතාත්මක ගායන ලෙස භාවිත වේ.ආඝාතාත්මක ගායන ලෙස මල්‍ යහන් කවි, කෝල්මුර කවි, හත් අඩියේ කවි, වන්නම්, ප්‍රශස්ති නම් කල හැක.
           දේශීය නර්තනයේ භාවිත ගායන තාලය, හා රිද්මය ඇසුරු කරගන්නා අතර සංගීතාත්මක බවින් පිරිපුන් ය. විශේෂයෙන් සබරගමු සම්ප්‍රදායේ භාවිත ගායන උච්ච, මධ්‍ය හා මන්ද්‍ර ස්වරස්ථානයන්හි  පිහිටුවා ගායනය කරයි. නිදසුන් වශයෙන් සේරා වන්නම, නාග ගජගා වන්නම, මාත්‍රා 5 ගායනා දැක්විය හැකිය.

           එසේම ශාන්තිකර්මයක දී ගයනු ලබන ගායන විවිධ චන්දස් අලංකරන විරිත් ඇසුරු කර ගොඩ නැඟී පවතී. අඹ හැල විරිත, මාලනී විරිත, සමුද්‍රඝෝශ විරිත, සූවිසි මත් විරිත මීට උදාහරණ වේ. පහතරට සිංදු වන්නම් විශේෂයෙන් මෙම විරිත් ලක්ෂණ පදනම් කර ගොඩ නැඟී ඇත.

         දේශීය නර්තනය හා බැඳි සංගීත පද්ධතියේ සෑම නර්තන අංගයක්ම කිසියම් වූ තාල රූප පද්ධතියක් මත ගොඩනැඟී පැවතීම විශේෂ වේ. ඒ අනුව තනි තිත, දෙතිත, තුන්තිත, සිව් තිත, පස්තිත ට අමතරව අප්‍රචලිත තිත් රූප පද්ධතියක් තුළ නර්තනාංග ගොඩ නැඟී ඇත. එකම නර්තනය තුළ වුවද තාල රූප කීපයක් කැටිව පැවතීම විශේෂ ලක්ෂණයකි.

          දේශීය නර්තනය හා බැඳි සංගීත පද්ධතියෙන් වාදනය සුවිශේෂී කොට වැදගත් වන අතර මේ සඳහා ඒ ඒ සම්ප්‍රදායානුකූලව වාද්‍ය භාණ්ඩ යොදා ගනී. උඩරට සම්ප්‍රදායේ ගැටබෙරය ද, පහතරට සම්ප්‍රදායේ දෙවොල් බෙරය ද, සබරගමුවේ දවුල ද වශයෙන් යොදා ගන්නා අතර සූවිසි විවරණ, සත් සතිය ආදියට උඩැක්කිය හා පන්තේරුව භාවිත කරයි. ඌව, නුවර කලාවිය, සබරගමුව ප්‍රදේශයන්හි උඩැක්කි ද ශාන්තිකර්මවල දී වාදන භාණ්ඩයක් ලෙස භාවිත කෙරේ. මෙම වාද්‍ය භාණඩයන් හා බැඳි මූලික බීජාක්ෂර හා ගර්භාක්ෂරයන්ගෙන් සුසැදි බෙර පද සමූහයක් වාදන පද කොටස් භාවිතයේ පවතී. සෑම නර්තනයක් සඳහා ම ඊට නියමිත වූ බෙර පද, පද කොටස්, තාල රූප, සංගීතය වශයෙන් භාවිත කරනු ලැබේ. මීට අමතරව තාල වාද්‍ය ලෙස තාලම්පට, අත්මිණිය, පන්තේරුව, රහු, ගිගිරි වළලු භාවිත කරයි. බලි ශාන්තිකර්මයේ ගායනයන් හි සංගීතාත්මක බව ප්‍රබල ලෙස ඉස්මතු වනුයේ අත්මිණියෙන් නැගෙන මිහිරි නාදයෙනි. ඊට අමතරව කෝළම් නැටුම් සඳහා ද සුශිර වාද්‍ය භාණඩයක් ලෙස හොරණෑව භාවිතයට ගැනේ.

          මේ අනුව දේශීය නර්තන කලාව දේශීය ජන සංගීතයෙන් ප්‍රබල පෝෂණයක් ලබා ඇති බැව් ප්‍රත්‍යක්ෂ ය.

ගැමි නැටුමේ සංගීත භාවිතය

        ගැමි නැටුම වූ කලී පොදුවේ සෑම ගැමි සමාජයකම පාහේ බිහි වූ නිර්මාණාත්මක ප්‍රාසංගික කලාවකි. ගැමි නැටුම වූ කලී ගැමි ජන ජීවිතයේ පිළිබිඹුවක් වන අතර එහි ප්‍රාසංගිකත්වය අරමුණු කර විවිධ නිර්මාණාත්මක ප්‍රවේශයන් භාවිතයට ගැනේ. මෙම ප්‍රවේශයන් අතර සංගීතයට හිමි වනුයේ සුවිශේෂී වටිනාකමකි. ගැමි නැටුමේ ප්‍රාසංගික බව ජීවය ගැමි නැටුම තුළ භාවිත සංගීතයෙන් ප්‍රදර්ශනය වේ. ගැමි නැටුම සරල වූවා සේම ගැමි නැටුමේ භාවිත සංගීතය ද සරල සුගම බවක් ප්‍රදර්ශනය කරයි. ගැමි නැටුමේ භාවිත ගීත සරල නාද මාලාවලින් යුතු වන අතර ස්වර 3ක් පමණක් ඇසුරු කර ගනී. ගැමි නැටුමේ භාවිත ගායනයන්හි නාද මාලා ගොඩ නැගෙනුයේ ඒ ඒ ගැමි ක්‍රියාකාරකම්වලට යෝග්‍ය වන පරිද්දෙනි. ඒ ඒ ගැමි ක්‍රියාවලීන්ගේ ප්‍රස්තුතයන්ට යෝග්‍ය වන පරිද්දෙන් නාද මාලා නිර්මාණය වී ඇත. ගොයම් කැපීමේ ක්‍රියාවලිය පදනම් කොට ගොයම් නැටුම නිර්මාණය වී ඇති අතර ගොයම් කැපීමේ රිද්ම රටාව ඉස්මතු වන පරිද්දෙන් ගොයම් කවි නිර්මාණය වී ඇත. මාත්‍රා තුනේ තනි තිතෙන්, මාත්‍රා හතරේ තනි තිතෙන් රිද්ම රටාවන් හා තාල රටාවන් ගොයම් නැටුමේ ප්‍රදර්ශනය වේ.

වරම් වරම් ඉර සඳ දෙවි අතින් වරම්..... (3+3)
උදේ සිටාන් වකුටු කොන්ද දිග හැරපල්ලා....(4+4)

           පුළුල් උකුල් තල මත දිය පිරුණු කළ ගෙඩි තබා දියට යන අයුරු දිය ගෙනෙන අයුරු දිය නාන අයුරු කළ ගෙඩි නටුමින් ඉදිරිපත් කෙරෙන අතර ඒ සඳහා මාත්‍රා 4, මාත්‍රා 3 තාලයට රිද්මයානුකූලව කළගෙඩි කවි ගායනා කරයි.

         මේ අනුව ගැමි නැටුමේ භාවිත කවි නාදමාලා ප්‍රස්තුතයට සුදුසු ලෙස නිර්මාණය වී ඇති බව ප්‍රත්‍යක්ෂ වේ.

         ගැමි නැටුම තුළ භාවිත කවි ගායන විවිධ නාදමාලා අනුව සකස් වී තිබේ. එකම ගැමි නැටුම තුල වුවුද විවිධ වූ නාදමාලවන්ගෙන් යුතු කවි ගායන දැකිය හැකිය. උදාහරණ ලෙස පන් නැටුම, ලී කෙලි නැටුම, සවරම්, පතුරු කවි ගායනා දැක්විය හැකිය.
 ලී කෙලි කවි :-
 එක පඳුරෙන් ලී සයක් කපාගෙන.....(2+2)
 බෝ අත්තට වැඳ සිරස නමන්නේ....(4+4)
 සව් සරා අතට ලැබුණු නිවන අත හැරා සුමෙද....(3+3)

        ගැමි නැටුම තුල භාවිත සංගීතයේ ගායන සරල බස් වහරක් උපයෝගී කරගන්නා අතර නිර්ව්‍යාජ බවක් බස් වහර තුළ ප්‍රදර්ශනය කරයි.
උදා :- අක්කණ්ඩියේ යමු අපි පන් නෙලන්නට
           ඔක්කොම ගිය් රන් මිනුවන් පන් විලට.....

       ගැමි නැටුමේ භාවිත සංගීතය තුළ විවිධ තිත් රූප භාවිත කිරීමද විශේෂ ලක්ෂණයකි. මෙහිදී භාවිත ගායන සරල බවින් යුතු වන හෙයින් තනි තිතේ තාලරූප බහුලව ඇසුරු කර ගනී. මීට අමතරව දෙතිතේ තාලරූප සීමිත සංඛ්‍යාවක් පමණක් ඇසුරු කර ගැනේ.විශේෂයෙන් ම මාත්‍රා 3+4, මාත්‍රා 2+4 එසේ භාවිත වේ.
උදා :- ඉරහඳ පාන විල කොතැනද තුන්හිරියා.... (2+4)
           නමෝ නමස්කාරයි බුද්ධ රත්නෙට.....(3+4)

      ගැමි නැටුමේ සංගීතය සඳහා විවිධ වාද්‍ය භාණ්ඩ යොදා ගනී. සම්ප්‍රදායික නර්තනයේ මෙන් නිශ්චිත වාද්‍ය භාණ්ඩ දැකිය නො හැකි අතර අවස්ථානුකූල ව කවර හෝ වාද්‍ය භාණ්ඩයක් භාවිතයට ගැනේ. විශේෂයෙන් ගැට බෙර, පහතරට බෙර, දවුල්, තම්මැට්ටම්, උඩැක්කි, බුම්මැඩි භාවිත කරයි. සුසිර වාද්‍ය භාණ්ඩ ලෙස බටනළාව යොදා ගනී. 

       ගැමි නැටුමේ භාවිත ගායනා නම්‍ය වන අතර අවස්ථානුකූලව වෙනස් කොට ගායනය කිරීමේ හැකියාව පවතී.

අධ්‍යතන ප්‍රාසංගික නර්තන සඳහා සංගීතය භාවිතය

        අධ්‍යතන වේදිකාවේ සම්ප්‍රදායික නර්තනයන් ප්‍රාසංගිකත්වය අරමුණු කර සංගීතයෙන් ඔපවත් කිරීම සිදු කරනු ලැබේ. කුවේණි අස්න, පත්තිනි, සුරඹා වල්ලිය, ගිරිදේවි, නානුමුරේ ආදී නර්තන සංගීතය හා මුසු වී අපූරු නිර්මාණ ලෙස වේදිකාවේ ඉදිරිපත් කරයි. මේ සඳහා වයලීනය, සර්පිනාව, බටනලාව ආදී වාදන භාණ්ඩ සංගීතය සඳහා යොදා ගනී. එමෙන්ම සම්ප්‍රදායික නාදමාලාවන් නවීකරණය කොට සංගීතාත්මක ලෙස සකස් කොට බටහිර හා භාරතීය සංගීතය සම්මිශ්‍රණය කොට නර්තනය සඳහා යොදා ගැනීම් ද අධ්‍යතන ප්‍රවණතාවයකි. රියලිටි නර්තන තරඟාවලීන්හි දක්නට ලැබෙන බොහොමයක් සම්ප්‍රදායික නර්තන අංග නිර්මාණාත්මක සංගීතයෙන් හැඩගන්වා තිබීම නව ප්‍රවණතාවයකි. 

         දේශීය ජන සංගීතය ද නර්තන නිර්මාණ කෘති සඳහා ඉතා අපූරු ලෙස නිර්මාණකරුවෝ භාවිතයට ගනිති. ජනනාත් වරකාගොඩ, සහන් රන්වල, දිලුප් ගබඩාමුදලි, තරුපති මුණසිංහ ආදී සංගීත නිර්මාණකරුවෝ මෙහිලා මූලික ස්ථානය ගනු ලැබේ. මොවුන් ස්වකීය නර්තන නිර්මාණ සඳහා ටීකා කවි, මල්වාරම් කවි, යාග කවි, බෙර පද සේම කුවේණි අස්න, පත්තිනි හෑල්ල, දළදා අශ්ඨක, සඳකිඳුරුව, යශෝදරාවත ආදියේ ගායන සංගීතය හා සම්මිශ්‍රණය කොට නර්තන නිර්මාණ සඳහා යොදා ගැනේ.

         ආරියරත්න කලුආරච්චි මහතාගෙ බැරිසිල් නර්තනය සඳහා සර්පිනාව, වයලීනය, පහතරට බෙරය ඇසුරු කර ගත් දේශීය ජන සංගීතයක් භාවිත කොට තිබේ. ඔහුගේම රූකඩ නර්තනය සඳහා රූකඩ නාට්‍ය හා බැඳි සංගීතය භාවිත කරයි. අරකවිල පදනම මඟින් ඉදිරිපත් කල ජානකී හිල්ගේ පටාචාරා නෘත්‍ය නාටකයේ ප්‍රාසංගිකත්වය උදෙසා දේශීය ජන සංගීතය , උත්තර භාරතීය හින්දුස්ථානී හා කර්ණාටක සංගීතය, ඉන්දියානු ජන සංගීතය, බටහිර සම්භාව්‍ය සංගීතය අවස්ථා, සිදුවීම්, චරිත ඉස්මතු කිරීමට යොදා ගෙන තිබේ. 

     චිත්‍රසේන පදනම මඟින් ඉදිරිපත් කළ කූඹි කතාව  ඉඟිනළුව සඳහා සම්භාව්‍ය බටහිර සංගීතඥයන්ගේ සංගීත ඛණ්ඩ භාවිත කොට තිබේ. අධ්‍යතන නර්තනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී නූතන සිනමා නර්තන පිළිබඳව ද කතා කළ යුතුමය. මේ සඳහා බටහිර සංගීතය හා ඉන්දියානු සංගීතය භාවිත කර තිබේ. කුස පබා, ඇහැලේපොළ කුමාරිහාමි, පත්තිනි, මහින්දාගමනය, ආලෝකෝ උදපාදි ආදී චිත්‍රපට නර්තන සඳහා විශේෂයෙන් භාරතීය සංගීතය භාවිත කර ඇත.ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ නළඟනගේ සබ නැටුමත් කුසපබා චිත්‍රපටයෙ මධුර වසන්තේ ගීත නර්තනයත් භාරතීය සංගීතයෙන් ඔපවත් වී ඇත. Super six, දේදුනු ආකාසේ, සමනල සංධ්වනිය වැනි චිත්‍රපටයන්හි නර්තන සඳහා බටහිර සංගීතය භාවිත කොට තිබේ.

         මේ අනුව අධ්‍යතන ප්‍රාසංගික නර්තන නිර්මාණයන්හි ප්‍රාසංගික ගුණය වර්ධනයෙහි ලා සංගීතය පුළුල් ලෙස භාවිත වී ඇති බව පැහැදිලි ය. 

No comments:

Post a Comment