දේශීය වාද්‍ය භාණ්ඩ නිර්මාණ ශිල්ප ක්‍රම
ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් හා ජන සංගීතය සඳහා දේශීය වාද්‍ය භාණ්ඩ භාවිත කෙරේ. විශේෂයෙන් ම මෙම බෙර නිර්මාණය වී ඇත්තේ ගෘහස්ථ පරිශීලනයට වඩා එළිමහනේ වාදනයට උචිත වන ආකාරයටය. පෙරහැර වැනි එළිමහන් සංස්කෘතික කාර්‍යයන්හි දී ද, ආගමික වතාවත් සඳහා ද, ශාන්තිකර්ම සඳහා ද සුදුසු වන ආකාරයට මෙකී බෙර නිර්මාණය කර තිබීම නිසා ඒවායේ හඬ ඉතාමත් තීව්‍ර වන සේ නිමවා ඇත.
අතීතයේ දී මෙරට බෙර විශේෂ ශාන්තිකර්ම සඳහා ද පන්සලේ පැවති බුද්ධ පූජා, තේවා, හේවිසි ආදී වත්පිළිවෙත් සඳහා ද, මඟුල් ගෙදර, අවමඟුල් උත්සව, ජාතික උත්සව ආදිය සඳහා ද, පෙරහැර, බෝධි පූජා, ධාතු නිධානෝත්සව ආදිය සඳහා ද යොදා ගෙන ඇත. පැරණි රජවරු තම අණපනත් ප්‍රකාශයට පත් කරන ලද්දේ ද බෙර වාදනයෙනි. අණබෙර, රණබෙර, යුධ බෙර, වද බෙර වැනි බෙර විශේෂ ඊට නිදසුන් ය.
දේශීය බෙර නිර්මාණයට දීර්ඝ ඉතිහාසයක් පවතී. එකල බෙර වාදන ශිල්පීන් තමන්ගේ අවශ්‍යතා පරිදි සිය බෙරය පෞද්ගලික මට්ටමින් නිර්මාණය කර ගත් හ. "තුන් වියත් තුන් ඟුල්" ආදී වශයෙන් දක්වා ඇති සාම්ප්‍රදායික මිනුම් ක්‍රම යොදා ගන්නා ලද්දේ එක් එක් ශිල්පියාගේ ශාරීරික මිමි ප්‍රමාණය මතය.
බෙර නිර්මාණය සඳහා දැව යොදා ගැනීමේ දී භාණ්ඩ නිර්මාණය සඳහා යෝග්‍ය දැව වර්ග පමණක් යොදා ගන්නා ලදී. එම ගස් කපා ගැනීමේ දී වුව ද චාරිත්‍රානුකූල සම්මත පවතී.
ගසක් කපා ගැනීමේ දී ගස වටා පිරිසිදු කොට ගසට සුවඳ දුම් අල්ලා සඳුන් කිරිපැන් ඉස ගසෙහි වැඩ සිටින වෘක්ෂ දේවතාවෙක් සිටී නම් ක්ෂමා කරවා ගෙන ගස කපා ගන්නා අතර, පුරපස දිනක එය කිරීම සිරිතයි. අවශ්‍ය ප්‍රමාණයට කුට්ටි කර ගැනීමෙන් පසු පදම් කර ගැනීම සඳහා මඩෙහි ගසා තැබීම සිදු කෙරේ. ගස පලා ගැනීමේ සිට සියලු කටයුතු සුබ වේලාවන් සහ චාරිත්‍රානුකූලව සිදු කිරීම සාම්ප්‍රදායික ශිල්පීන්ගේ සිරිතයි.
එකිනෙක බෙර වර්ග නිර්මාණය කිරීමේ දී දැව වර්ගය තෝරා ගැනීම, කඳ සකස් කර ගැනීම, සම් පදම් කර ගැනීම, ගෙතීම, තට්ටු යෙදීම, යන සියලු ම කටයුතු එකිනෙක බෙරයෙහි විශේෂත්වයට අනුකූල වන සේ සකසා ගනී.
පැරැන්නන් කියන පරිදි ගවයන් මැරීම හෝ ගවමස් අනුභවය සිංහල බෞද්ධයන්ගේ සිරිත නොවූයෙන්, අවශ්‍ය සම් ලබා ගන්නා ලද්දේ ස්වභාවිකව මියගිය සතෙකු හම ගසා ගැනීමෙනි. බෙර නිර්මාණයේ දී ධ්වනි ගුණය, හඬ උත්පාදනය යන ගුණාංග කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා උචිත අමුද්‍රව්‍ය භාවිතයත්, එකී අමුද්‍රව්‍ය භාවිත කරමින් භාණ්ඩ නිර්මාණය කිරීමේ දී යොදා ගත් ශිල්පීය නිපුණතාවත් අතිශයින්ම වැදගත් විය. නියමිත හඬ උත්පාදනය කළ හැකි ආකාරයෙන් භාණ්ඩ නිර්මාණය කිරීම දිගුකාලීන අත්දැකීම් මඟින් ලත් පරිචය අනුව සිදු කරන ලද්දකි.
ගැටබෙරය
ගැටබෙරය සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික සමාජය හා සංස්කෘතික ජීවිතයේ සෑම අංගයක් කෙරෙහි ම ව්‍යාප්ත වූ තූර්‍ය භාණ්ඩයකි. එබැවින් බෙරය හා බැඳි චාරිත්‍ර වාරිත්‍රවල දී පූජාර්තය පිළිබිඹු කෙරේ. මේ සඳහා තෝරා ගන්නා ගස ශුද්ධ භූමියකින් තෝරා ගැනීමට ශිල්පීහු කටයුතු කරති. ඒ සඳහා විහාරස්ථානයක් දේවාලයක් හෝ දිය දොළ කඩා හැලෙන ස්ථානයක ඇති ගසක් තෝරා ගැනේ. සොහොන් භූමියක හෝ ඒ අසල හෝ පිහිටි ගස්, බෙර සකස් කිරීම සඳහා නුසුදුසු සේ සැළකේ.හෙණ වැදුණු හෝ ඉබේ මැරුණු පැණි වරකා ගස් තෝරා ගැනීම විශේෂ ලක්ෂණයකි. තෝරාගත් වෘක්ෂය වෙතට ගොස් පිරිස ඒ වටා ශුද්ධ පවිත්‍ර කොට ගොක් රැහැන් ඇද වෙන් කර තබයි. පහන් පැල සතරක් පසෙකින් තනා මල් පහන් සුවඳ දුම් පූජා කරයි. අනතුරුව පැහිදුම් කඳක් ගසට ඔප්පු කොට යාතිකාවක් කියයි.එම යාතිකාවෙන් මෙම වෘක්ෂයට අධිගෘහිත දේවතාවෙක් හෝ යක්ෂයෙකු සිටී නම් මෙම විමානය අතැර යන ලෙස ආයාචනා කරයි.
ලද පස් මල් ඉස පිරි බඩලෑවා
සඳුන් කොකුම් පිනි දියරෙන් නාවා
මල් පහනෙන් ගොප් සැරසිලි කරවා
පුද දෙමි දෙවියනි අවසර බෝවා
විශ්ණු නාථ බිම් බහිරව දෙවියෝ
සතර වරම් ගාන්ධර්ව දෙවියෝ
වරද ක්තා කර දෙනු මැන දෙවියෝ
මේ රැක සඳිනට අවසර දෙවියෝ
පසු දින සුබ නැකතින් හොඳින් කැපෙන ආයුධයකින් ගසට පහරක් ගසා නමස්කාර කොට ගස කපා ගනී. එහිදී නක්ෂත්‍ර නියමයන්ට අනුව උත්‍රසල, පූනාවාස නැකතින් ගස කැපීම ද හෙණ යෝගයෙන් භාණ්ඩයට හම් යෙදීම ද පැරණි සම්මත සිරිත වේ.
ඇසළ මස බුධ දින - පසළොස්වක ද සමඟින
පුවසළ නැකත ගෙන - බුදගෙ හෙණ ලණුව ලත් තැන
මෙලෙස හෙණ යෝගෙට - යෙදෙනා මොහොත නිසි කොට
බෙරය ගෙන සුරතට - තබා මළ හම් එළා වට කොට
• උඩරට ප්‍රදේශයේ භාවිතයේ පවතින නිසා උඩරට බෙරය ලෙස ද, මඟුල් බෙර වාදනයට යොදා ගන්නා නිසා මඟුල් බෙරය ලෙස ද, බෙරයේ මැද ගැටියක් හෙවත් බෙර පුහුලක් දක්නට ඇති නිස ගැට බෙරය ලෙස ද හඳුන්වනු ලැබේ.
• තුන් වියත් තුන් ගුලක් දිගින් යුතු ගැටබෙරයේ ඇසේ විශ්කම්භය විග්ගුස්සකි.
• බෙරය සැකසීම සඳහා තද අරටුව සහිත ඇසළ, ගංසූරිය, කොහොඹ, වරකා, හල්මිල්ල, වාං(වා) ආදී දැව වර්ග ද අතීතයේ රත් හඳුන් කඳ ද යොදා ගනී.
ඇසළත් කොහොඹද දඬු ගෙන වරකා
දිගිනුත් තුන් වියතයි තුනගුලකා
දිවිසම් මුව සම් ඇඳගෙන බැදකා
වයඹ දිගින් ඉඳගෙන බෙර වයතා
• දකුණු ඇස සඳහා පදම් කරන ලද වඳුරු සම්, එළු සම්, තලගොයි සම් භාවිත කරයි. මෙම ඇසෙන් පුපුරා යන හඬක් නිකුත් කිරීම සඳහා තුනී සමක් යොදා ගනී.
• වම් ඇසට ඝනකමින් වැඩි මුව සම් හෝ හරක් සම් යොදා ගනී.
• කැපුම් හම, වෙනිවර කැරැල්ල සඳහා හරක් සම් භාවිත කරයි. ගිගිරි වළල්ල හෝ කයිපුඩි වළල්ල දකුණු ඇසේ කන්වරයට යොදන අතර එය පිත්තලෙන් හෝ රිදියෙන් යොදයි.
• ගැටි වැල් සඳහා කිරිඳි වැල් යොදා ගන්නා අතර වර්තමානයේ වේවැල්, උණබට පතුරු ආදිය ද යොදා ගනී. බෙර ලණුව හණ කෙඳි ආකාරයෙන් සකසා ගනී.
බෙර නිර්මාණය සඳහා යොදා ගන්නා උපකරණ
1. ගස කැපීම සඳහා - පොරව, අත් පොරව
2. කඳ සකස් කර ගැනීම සඳහා - හරස් කියත/ බණ්ඩි කියත , අත් කියත
3. කඳ සැස ගැනීම සඳහා - වෑය
4. කඳ මැදින් හිල් විදීමට - අවගාරය/ යවකාරය
5. බෙර කඳ හෑරීම සඳහා - බොකු නියන, උල් නියන, පළල් නියන
6. බෙර කට ගෑම සඳහා - සාත්තුව / පුල්ලෝරම
7. බෙර කඳේ රේඛා ලකුණු කිරීම සඳහා - අල්ලිස්(ඇලිස් කටුව)
8. බෙර කඳවට බොරදං බේරීම සඳහා - පෙති කටුව
9. හම් කැපීම සඳහා - පිහිය
10.ඉල්ලම් කැපීම සඳහා - දැව ඉල්ලම් / යකඩ ඉල්ලම් කූර
11.වර ඇද ගැනීම සඳහා - බොකු අඬුව / ලාඩං අඬුව
12. කොකුවක් ගිල්වීම සඳහා - පත් උළ
13. කඳ හෑරීමේ දී නියනට පහරදීම සඳහා - අතකොළුව
14. ආයුධ මුවහත් කිරීම සඳහා - පීර, දියගල, ගිනිගල, ඇමරිගල, තෙල්ගල
15. බෙර කඳ ලියවීම සඳහා - ලියවන පට්ටලය
බෙරය සකස් කරන අයුරු
1.බෙර කඳ හෑරීම
පාරම්පරික ශිල්පීන් බෙර කද අස්විද නැකතින් හාරනු ලැබේ. දැව කුට්ටියේ එක් කෙළවරක් ඉහළට සිටින සේ තබා අවදාරයෙන් හිල් කිහිපයක් විදිනු ලැබේ. අනතුරුව බොකු නියන්වලින් මැද කොටස් හාරා ඉවත් කරයි. බෙර කද සම්පුර්ණයෙන් එකවර හාරා නිම නො කරන අතර පියවරෙන් පියවර හාරනු ලැබේ. එහි අරමුණ බෙර කඳ ඇදවීම වළක්වා ගැනීමයි
2.බෙර කඳ ලියවීම
බෙර කඳ ලියවීම යනු බෙර කඳ වටා පිටතින් බොරදම් ලියවා අලංකාර කිරීමයි. මේ සඳහා ලියවැල් පට්ටලය සම්බන්ධ කර ගනී
3. බෙර කඳ කට ගෑම
පැරණි මතය අනුව බෙර කට ගණකම සහල් ඇට දෙකක් යැයි පැවසේ. එනම් අඟල් ½ කට අඩු විය යුතුය. බෙර කඳේ කට සුමට කර ගැනීමේ අරමුණින් කුරක්කන් ගලේ කට ගෑම කරයි.
4. බෙර හම සැකසීම
බෙරය බැඳීමට අවශ්‍ය සම් පදම් කර ගැනීමයි. මෙහිදී ප්‍රථමයෙන් හම වේලා ගත යුතුය. සමේ ඇතුල් පැත්තේ පණුවන් ගැසීම වැළැක්වීම සඳහා අළු ආලේප කොට තද අව්වේ සතර කොන හොඳින් ඇද වියළා ගනී. පදමට වියලීමෙන් අනතුරුව පිහියක් ආධාරයෙන් හෝ ඇතැමුන් සකසා ගත් බූවල්ලක් ආදාරයෙන් පිට පැත්තේ ඇති රෝම ඉවත් කර ගනී. මෙම රෝම ඉවත් කල හම් සති තුනක් පමණ දුම් මැස්සේ දමා වියළා පදම් කර ගැනීමෙන් අනතුරුව අවශ්‍ය කරන සම් කොටස් කපා ගනී. මෙහිදී ගවයාගෙ පිටකොන්දේ සම කැපුම් හම සඳහා ද, දෙඇල කොටස් වරපට සඳහා ද , උදරයේ කොටස් වෙනිවර සදහා ද යොදා ගනී. කපා ගත් වරපට කොටස් ගස් දෙකක් අතර ඇද බැද තබා වැසි රහිත දිනක පින්නෙන් තෙමෙන්නට ඉඩ හැර පසු දින තවත් ඇද බැද තබයි. මෙලෙස දින 3ක් කිරීමෙන් පසු වර අත සකසා ගනී. අනතුරුව කැපුම් හම හා වෙනිවර සකසා ගනී. කැපුම් හම සැකසීම සඳහා කපා ගත් සම් කැබලි දෙකක් දියෙන් පොඟවා බෙර කට මත එලයි. අනතුරුව බොරු ඉල්ලම් කපා දෙඇස සම්බන්ධ කරයි. ඉන්පසු බෙර කටේ ඇඟල් ¾ ඉතුරු කර මැද කොටස කපා ඉවත් කරයි. පසුව බොරු වර ඉවත් කර අවශ්‍ය පමණට කැපුම් හම කපා ගනී.
වෙනිවර සැකසීමේ දී රවුමට කපා ගත් වෙනිවර, හිල් සහිත පොල් කටුවකින් දෙපසට ඇද මෘදු කර ගනී. අනතුරුව ගැටිය ගෙතීම සිදු කරයි. මෙහි දී කැපුම් හම මත වෙනිවර කැරැල්ල ගොතා ගැනේ. බෙර ගැටිය කැපුම් හම හා එක්වූ පසු හැක්ම නම් වේ. ඉන් පසු කන්වරය සකසා ගනී. අනතුරුව වරපට යෙදීම සිදු කරයි. ගැටි වැල සඳහා රඳලිය, කිරිඳි, රත්මල්, මල්කෑර, රතඹලා, කැප්පිටියා, සියඹලා වැනි කෝටු වර්ග ද උචිත බව සැලකේ. වර්තමානයේ මේ සඳහා වේ වැල් හා සිහින් කර ගත් උණ පතුරු ද භාවිත කරයි. දකුණු බෙර ඇසට ගැටි වැල 2ක් ද වම් ඇසට ගැටි වැල 1ක් ද යොදනු ලැබේ
5.සම එලීම
මේ සඳහා පදම් කර ගත් හම් බෙරයට යොදයි. දකුණු ඇසට වඳුරු, තලගොයි හෝ එළු හම ද, වම් ඇසට මුව හෝ හරක් හම ද යොදයි. සම ජලයෙන් පොඟවා එලීම සාම්ප්‍රදායික සිරිතයි. අනතුරුව සම තදින් අදිමින් හණ නූල්වලින් ගැට ගස්. සම වියලුණු පසු බෙර හැක්ම බෙර ඇස මැදි වන සේ දමනු ලැබේ. අනතුරුව වරපට ඇද බෙරය සකස් කර ගමී. ඉන්පසු දකුණු කන්වරයට සමීපටෙන් ගිගිරි වළල්ල හෙවත් කෛපුඩි වළල්ල යොදයි. අවසන බෙර ලණුව සකසයි
6.හඬ සකස් කිරීම
ගැටබෙරයේ හඬ සැකසීම සඳහා බෙරපත්ත නම් ලී කැබැල්ලක් යොදා ගනී. ඉන් බෙරය තද කරමින් බුරුල් කරමින් වරපට අදිමින් ලකබුරුල සකස් කරයි. මෙය බෙර උල, බෙරලීය, බෙර පොල්ල යන නම්වලින් හඳුන්වයි. දකුණු ඇසේ හඬ කම්පනයෙන් යුක්තව මතු කිරීම සඳහා අඬ ඉර සළකුණු කරයි.
( ජායාරූපය අන්තර්ජාලයෙනි )
1. දකුණු බෙර ඇස
2. කැපුම් හම
3. බොරදම්
4. බෙර කඳ
5. බෙර පුහුල
6. වරපට
7. වම් බෙර ඇස
8. බෙර ලණුව
9. සුරත් තට්ටුව
10. කෛපුඩි වළල්ල
11. කන්වරය
12. ගැටි වැල
13. බෙර උල( බෙරය සුසර කිරීම සඳහා යොදා ගනී)